Welcome

Kularathna Jayasekara

2023/01/17

විශ්වනී නවකතාව (සම්පූර්ණයෙන්)

 


විශ්වනී

පළමුවන පරිච්ඡේදය:

මේ කතාව පීටර් ගැන නම් නොවේ. නමුත් කතාවේ ඇරඹුම පීටර්ගෙන් පටන් ගැනීමට සිදු ව තිබේ. පීටර් කාගේ කවුදැයි කිසිවකු දන්නේ නැත. ඒ නිසා ඔහුගේ කුඩා අවධිය ගැන මා කිසිවක් ලියන්නේ ද නැත. අග නගරයේ කලබලකාරි වීදියක් තුළ උදෑසන එක් චරිතයක් රඟන ඔහු සවස් කාලයේ ඊට හාත්පසින් වෙනස් නිරූපණයක නියැලෙන්නකු යැයි විටෙක මා හට සිතේ. හැඩි දැඩි සිරුරකට හිමිකම් කියන ඔහු අව්වට පිලිස්සුන දුඹුරුවන් සමක්ද, කැරලි ගැසුනු කොණ්ඩය තද කලු පැහැතිය. බළලෙකුගේ මෙන් ලා දුඹුරු ඇස්, දකින ඕනෑ ම අයකු මන්මත් කරවන සුලු ය. සවස් කල වීදියේ කොල්ලන් සමඟ දඩබ්බර වන ඔහු ජීවිකාව සඳහා මුදල් හම්බකළේ වෙළඳසැල්වලට පැමිණෙන ලොරි සහ කරත්තවල භාණ්ඩ පැටවීම් සහ බෑමේ කටයුතු සඳහා සහාය ලබාදීමෙන් උපයා ගන්නා මුදලිනි. මෙහි ජනයා එම රැකියාව හඳුන්වන්නේ නට්ටාමී යනුවෙනි.

සෑම දිනකම උදෑසන තේ කඩයකට ගොඩවදින පීටර් පත්තරයට සමවදින්නේ එය ඔහුගේ දෛනික රාජකාරියේ පළමු කාර්‍යය සේ සලකාගෙනය. ඔහු මෙතරම් හොඳින් පුවත්පත් කියවීමට අකුරු උගත්තේ කවදා ද, කොහෙදි දැයි යන්න ඔහුගේ සමීපතමයින් පවා නොදන්නා රහසකි. පත්තරය කියවන අතරවාරයේ ම තේ කෝප්පයකින් උදේ හීල සලසාගන්නා ඔහු ඉන් අනතුරු ව වෙළඳ වීදියට ප්‍රවිශ්ඨවන්නේ ඔහුගේ සුපුරුදු රාජකාරිය සඳහා ය. ලොරියක් හෝ ගැලක් වීදියට පැමිණීම එහි කලබලය වැඩිකරන සිද්ධියකි. නාට්ටාමිවරුන් විශාල ප්‍රමාණයක් මේ වීදියේ සිටින නිසාවෙන් ඔවුන් අතර තරඟයක් ඇතිවීම සාමාන්‍ය සොබාවයකි. නමුත් පීටර්ටනම් මෙහි කිසිදු තරඟයක් නැතුවාසේය. ඒ දිනපතා හෝ සතිපතා වීදියට පැමිණෙන සමහර ලොරි සහ ගැල් ඔවුන්ගේ සුපුරුදු සහයකයා ලෙස ඔහුවම බලාපොරොත්තු වන නිසාය. කුමක් වුවද ඉදහිටක හැර අන් සියළු දිනකම දහවල් 12 පමණවනවිට රුපියල් 50ක් 60ක් උපයා ගැනීමෙන් පසු ඔහුගේ රාජකාරි කටයුතු අවසන් වේ.

නැවතත් ඔහුගේ රුව වීදියේ දැකගැනීමට හැකිවන්නේ සවස 06 පමණ වනවිටදීය. ඒ තනිවනම් නොවේ. සම වයසේ පසුවන තවත් කොලු රෑනක්ද සමගය. පිළිවෙලට මැදගත් සරමකින් සහ කමිසයකින් සැරසුනුවිට නොදන්නා කිසිවෙකුට ඔහු කවුදැයි කීමට බැරි තරමට කඩවසම්ය. රාත්‍රීයේ විවෘතවන ආපන ශාලාවකට ගොඩවදින ඔවුන් කැරම්, දාම් හෝ කාඩ් සෙල්ලම් කරමින් කාලය ගෙවන ආකාරය මෙහි වෙසෙන්නටනම් සුලභ දසුනක් බව කිව යුතුය. ඉදහිට ආසන්නයේම ඇති සිනමා ශාලාවකට ගොඩවදින ඔවුන් චිත්‍රපටයක රසවිඳිමින් එහි කාලය ගත කරති. සතියට වරක් පමණ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් එහි කාලය ගෙවීමද එවැනි දිනක පාන්දර 2ක පමණ වනතෙක් ඒ තුල ගත කිරීමද දැකිය හැකි ය. නමුත් අන් සියළු දිනවලදී රාත්‍රී 12 පමණවනවිට වීදියට සමුදෙන්නේ ඔවුන් නැවත පසු දින හමුවීමේ පොරොන්දුවක්ද සමගිනි. අන් අය විසිර යාමෙන් පසු වීදියේ ඉතිරිවන්නේ පීටර් සහ ගිල්බට් පමණි. ඔවුන් යායුත්තේ එකම දිශාවකට පමණක් නොව එකම නිවසකටය. එය පිහිටා ඇත්තේ ප්‍රධාන වීදියෙන් අඳුරු පාරකට හැරී මද දුරක් ගිය තැන හමුවන මුඩුක්කු නිවාස පේලියක හයවන නිවාසයයි. බිත්ති ලෑලී ගසා වහලයට ටකරන් හෙවිලි කරන ලද තනි කාමරයක් සහ වෙන් කරන ලද කුස්සියකින් සමන්විත කුඩා ඉඩකඩක් සහිත නිවස කොපමණ කුඩා වුවත් එය ඔවුන්ගේ වෙහෙස නිවන සොදුරු නිවහනක්ම නොවන්නේද? නිවසේ ඇති එකම කාමරය පරණ සාරි දෙකකින් දෙකට බෙදා ඇත. එක් කොටසක් ගිලබට්ගේ මව, පියා හා නැගණිය නිදා ගැනීම සඳහා ය. අනෙක් කොටස තුල මේසයක් හා වේවැල් පුටු දෙකක් තබා ඇත. මේසය මත පීටර්ගේත්, ගිල්බට්ගේත් රාත්‍රි කෑම පිගන් දෙකක් සඳහා බෙදා ඇති අතර මැටි කෝප්ප දෙකකින් වසා ඇත. කුස්සියේ කලගෙඩියෙන් කෝප්පයකට වතුර ගෙන අත් සෝදා රස ගුණ විමසිමකින් තොරවම ඉක්මණින්ම ආහාර ගිල දමන ඔවුන් දෙදෙනා අසල මුල්ලක හේත්තු කර ඇති පැදුරු කඩමාල්ල බිම එලා පුටු මත ඇති කොට්ටා දෙක ගෙන ඒ මත හිස තබා සුවබර නින්දකට වන්නේ ය.

ගිල්බට්ගේ පියා ප්‍රධාන වීදියේ පළතුරු ලෑල්ලක් පවත්වාගෙන යන්නේ ය. මව නිවසේ කටයුතු කරන අතර ස්වයං රැකියාවක් ලෙස පපඩම් හා හදුන්කූරු නිෂ්පාදන කාර්යයක නියැලේ. බොහෝ දුරට පියා පළතුරු සෙවීම සඳහා බාහිරට යන බැවින් ගිල්බට් උදේ වරුව වෙළදාමට උදව් කිරීම පිණිස පළතුරු ලෑල්ලට යයි. දහවල් 12ට පෙර ඔහු නැවත නිවසට එන්නේ ආහාර සකස් කිරීම සඳහා අවශ්‍ය කළමණාද රැගෙනය. ඉන්පසු ඇග පත සෝදා ගන්නා ඔහු නැගෙණිය පාසැලෙන් රැගෙන ඒම සඳහා පිටත් වේ. නැගෙණිය පාසැලෙන් රැගෙන ඒමෙන් පසු දිවා ආහාර ලබා ගන්නා ඔහු මවගේ කටයුතු සඳහා උදව් කරමින් හවස් වරුව නිවසේම රැදී සිටියි.

පීටර් මේ නිවසේ නිත්‍ය සාමාජිකත්වයට එන්නේ අවුරුදු 15ක පමණ අවධියේදී ය. ඉබාගාතේ යන කාත් කවුරුවත් නැති වීදී කොළුවෙකු ලෙස නගරයේදී ගිල්බට්ගේ පියාට කිහිප විටක් උපකාර කර ඇති මේ කොළුවා ගැන උපන් අනුකම්පාවේ ප්‍රථිපලයක් ලෙස ඔහු මේ නිවසට එක්වේ.

මේවනවිට පීටර් වයස අවුරුදු 19ක තරුණයෙකි. ගිල්බට්ද එම වයසේම පසුවන අතර නැගණිය අවුරුදු 14ක් ලැබුවේ අද ඊයේ ය. ගතවූ පුංචි කාලය තුල ඔවුන් මනා සහෝදර බැඳීමකින් වාසය කිරීම මේ දෙමව්පියන්ටනම් මහත් අස්වැසිල්ලකි. පීටර් සෑම දිනකම උපයාගන්නා මුදලින් කොටසක් ගිල්බට්ගේ මවට ලබා දීම පුරුද්දකි. නමුත් මෙම මුදල ගෙදර අවශ්‍යතාවයන් සඳහා ලබා නොගෙන පියාගේ අණුදැනුම මත කැටයක දමා ඉතිරි කරන්නට මව කටයුතු කර ඇත්තේ දරුවන්ටත් නොදැනෙන ලෙස ය.

දෙවන පරිච්ඡේදය:

හිරු නැගෙන්නට පෙර රැය පහන් කිරීම සඳහා බිම එලා ගත් පත්තර පිටු මතින් නැගී සිටි පීටර් ආසන්නයේ තිබූ බස් නැවතුම් පොලට ගොස් එහි ඇති ජල කරාමයෙන් මුහුණ කට සොදා හැර දෝතට ගත් ජලයෙන් කුස පුරවා ගත්තේ ය. ඉන් පසු අසල ගසක් යට ඇති බංකුවක වාඩිගත් ඔහු යමක් මෙනෙහි කරන්නට වන්නේ ය. පෙර දින අග නගරයේ විසු ඔහු මේ මොහොතේ සිටිනුයේ ඊට උතුරින් සැතපුම් සියයකට වැඩි දුරකින් පිහිටි උප නගරකය. ඔව් මේ කැකිරාව නගරයයි. මෙම නගරය හරහා මරදන්කඩවල, හබරණ, දඹුල්ල, තලාව සහ තවත් බොහෝ ප්‍රදේශ සඳහා ගමන් කිරීමේ පහසුව සහිතවීම සුවිශේෂම කරුණයි. ඒ නිසාම උදෑසන සිට රාත්‍රීය වනතුරු එක ලෙස කළබලකාරි වන නගරයක් ලෙස හැදින්වීම වරදක් නොවේ. දැන් පීටර්ගේ අවශ්‍යතාවය රැකියාවක් සොයා ගැනීමයි. නගරයේ කිහිප දෙනෙකු සමග කථා කලද එය මේ දක්වා සාර්ථක නොවී තිබීම නිසා පීටර්ගේ සිත ශෝකයකින් පිරී තිබුණි. නමුත් උත්සහය අත් හැරිය නොහැකි ය.

නගරයෙන් බැහැර ගම්මානයක් වෙත ගියහොත් කුලියක් හෝ සොයා ගත හැකියැයි යන සිතුවිල්ල පෙරදැරිව බටහිර දිශාවට තිබූ මාර්ගය ඔස්සේ ඔහු ඉදිරියට ඇවිද ගියේ ය. සැතපුම් දෙකක් පමණ ඇවිද යන විට මාර්ගය අසල කඳුගැටයක් මත ඉඳිකරන ලද මනරම් විහාරස්ථානයක් දැක ඔහුගේ පාද නිතැතින්ම පංසල් භූමිය වෙත එස වුනි.

අගනගරයේ සිටියදි ඔහු විහාරස්ථානයකට ගොස් තිබුනේ ගිල්බට්ගේ නැගණියව ඉරිදා දහම් පාසල වෙත රැගෙන යාමට හා ඒමට යන අතරවාරයේදීත්, අවුරුද්දකට වරක් පැවැත්වෙන පිංකම් අවස්ථාවලදී මිතුරන් සමග හුදු විනෝදාස්වාදය ලැබිමේ පරමාර්ථයත් පෙරදැරිවය. එවැනි දිනවල නගරයේ තරුණ ගෑණු ළමුන් විහාරස්ථානයට පැමිණෙන නිසාවෙන් ඔවුන් දැක සිත් පහන් කර ගැනීම විනා ආගමීක චින්තනයක්නම් ඔවුන් තුල නොතිබුන හ. එපමණක් නොවේ භාණ්ඩ සල්පිලෙන් ඔට්ටුවට තරඟ කොට යමක් මිළදී ගැනීමද, පසුදා පහන් වනතුරු පැවැත්වෙන නාට්‍යානූසාර ජාතක කතා නැරඹීමද ඔවුන්ගේ තරුණ සිත් අමන්දානන්දයට පත්වූ නිසාවෙන් ඔවුන් විහාරස්ථාන වෙත ගිය හ. නමුත් අද ඊට බොහෝ සෙයින් වෙනස්ය. අද තමන් පිළිසරණක් සොයා යන මංමුලාවූවෙකු වැනිය.

විහාරස්ථානයට ඇතුළුවූ ඔහු ඉදිරියෙන්ම තිබූ බුද්ධ ප්‍රතිමාවට වැඳ නමස්කාර කර ඒ වනවිටත් ආවාස ගෙය ආසන්නයේ සක්මන් කරමින් හිඳින ගරු ස්වාමීන් වහන්සේ වෙත පියමැන්නේ ය. දුරදීම එන නාදුණන තරුණයා දෙස විමසිලිමත්ව බැලු ස්වාමීන් වහන්සේ මදක් සක්මන නවත්වා එක්තැන්වූ හ. දුටු පමණින්ම මේ තරුණයා වෙහෙසකාරි හා කුසගින්නෙන් පසුවන බව වටහා ගත් හ. හාමුදුරුවන්ගේ ආසන්නයටම පැමිණි පීටර් හිමියන් පා වැඳ තමන් කවුදැයි කොහේ සිට පැමිණියේදැයි යන්න හදුන්වා දුන්නේ ය. "උපාසක මහත්තයා ඔබ විශාල කරදරයකින් ඉන්න බවකුයි පේන්නේ. ඒ වගේම දැඩි වෙහෙසකින් හා කුසගින්නේ පෙලෙන බවකුත් හැඟෙනවා. ඒ නිසා ආගිය තොරතුරු දැනගැනීමට මත්තෙන් කුස පුරවාගෙන වෙහෙස නිවාගැනීම සුදුසුයි". "අප්පු මාමා" හිමියන් එසේ අමතන විට ලැගුම් ගෙය පිටුපසින් වයස්ගත අයකු ඒ දෙසට පැමිණියේය.ඔහු ඇමතු ස්වාමීන් වහන්සේ "මෙන්න මේ තරුණ මහත්තැන්ව දාන ශාලාවට කැන්දගෙන ගිහින් කෑමට යමක් දෙන්නකෝ"."එහෙයි අපේ හාමුදුරුවනේ".

ආහාර ලබාගැනීමෙන් පසු මදක් වෙහෙස නිවාගත් ඔහු ඉන් අනතුරුව ආවාස ගෙයි පුටුවක සැතපී හිඳින හිමියන් සමීපයට ගොස් පා වැඳ පසෙක තිබු කුඩා බංකුවක් මත හිඳගනිමින් තමන්ට වූ අකරතැබ්බය පිළිබඳව හිමියන් දැනුවත් කලේ ය.

තුන්වන පරිච්ඡේදය:

පීටර් එදා යාළුවොත් එක්ක නගරයේ ප්‍රසිද්ධ ක්‍රිඩා පිටියක පැවැත්වෙන සංගිත ප්‍රසංගයක් නැරඹීමට කතිකා කරගෙන සිටි නිසා වැඩිපුර මුදලක්ද උපයා ගැනීමේ බලාපොරොත්තුව ඇතිව සවස්වන තෙක්ම රැකියාවේ නියැලුනි. සවස 4.30ට පමණ නිවසට යෑම සඳහා හනිකට පැමිණෙමින් සිටියදි මාර්ගය අසල තරුණ වයසේ යුවතියක් බිමට නැඹුරු කරගත් දෙනෙතින් සිටියා ය. දුටුපමණින්ම යමක් සොයන ආකාරයක් පිළිඹිබු වූ අතර දෑස් කඳුලකින් තෙත්ව ඇති බවත් පෙනෙන්ට තිබූ බැවින් ඇයට යම් කරදරයක් වී ඇතැයි සිතු ඔහු ඇය අසලට ගිය පීටර් "ඇයි නංගි මොනවා හරි නැති වෙලාද" විමසා සිටියේ ය. තිගැස්මක්ද සමග හිස ඔසවා ඔහු දෙස බැලූ ඇය මද නිහැඬියාවකින් පසු "මගේ කරේ තිබුනු චේන් පොට" ඉකිබිදින ස්වරයකින් කෙදිරුවා ය.

"ඇයි මොකද වුනේ?". "අද මගේ යාළුවෙකුගේ උපන් දින පාටියක් තිබුනා. දවල් කෑම කාලා එන්න පිටත් වෙද්දිත් මම කර අතගාලා බැලුවා. එතකොටත් චේන් එක කරේ තිබුනා. ගෙදර ගිහින් බලද්දි චේන් එක නෑ. අනේ ඒක අපේ අප්පච්චි මගේ පහුගිය උපන් දිනේට අරන් දුන්නු එක. මම පාර දිගේම හොයාගෙන ආවත් තාම හම්බවුනේ නෑ. දැන් මං කොහොමද කියන්නේ ඒක නැති වෙලා කියලා". කථාව අස්සේ ඉකිබිඳුමත් වැඩි උනාදෝ කියලා පීටර්ට හිතුනා. "අකමැත්තක් නැත්නම් මමත් උදව් කරන්නම් අපි එකතුවෙලා හොයමු" පීටර් එහෙම කිව්වම මේ තරුණිය ස්තුතියි කියනවා වගේ බැල්මකින් පීටර් දිහා බැලුවා. දැන් පීටරුත් මේ තරුණිය සමග මග දිගේ ආපහු ප්‍රධාන වීදිය දිහාට ගමන් කෙරුවේ බිම දිහාට හිස් හරවගෙනයි. එකපාරම වාහනයක් ඇවිත් ඒ ළගම නතර කෙරුවා. පීටර් හිස ඔසවලා බලද්දි ඒක පොලිස් ජීප් රථයක්. ජීප් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වෙලා හිටපු පොලිස් නිලධාරියා ගැඹුරු හඬකින් "මොනවද මේ දෙන්නා හවස පාළු තැනක කරන්නේ?". පීටර් ජීප් එක ළගට කිට්ටු වෙලා වෙච්චි දේ ගැන කිව්වා. "බාබා පාට් දානවද දෙන්නත් එක්ක වෙන මොකක් හරි මගොඩියක් කරලා අපි එද්දි රගපාන්න ගත්තා නේද? අපි දන්නවා තමුසෙලාගේ හැටි අපිව තම්බන්න නං බෑ පුතෝ"."සාජන් දාගන්නවා මේ දෙන්නව ජීප් එකට පොලිසියට ගිහින් බලමු. දෙන්නගේ රඟපෑම". පීටරුයි ගෑණු ළමයයි දෙන්නා මූණෙන් මූණ බලාගත්තා. දෙයියනේ.... මේ මොකක්ද උනේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩන් වැටුනා වගේ කියලා පීටර්ට හිතුනේ. එතකොටම අර ගෑණු ළමයා "අනේ නෑ සර් මේ ඇත්තමයි.........." කියලා ඉවර කරන්නත් ඉස්සරවෙලා "හරි හරි කථාකරන දෙයක් පොලිසියේදි දැං නිශ්ශබ්දව ජීප් එකට නගින්න මිස්". තවදුරටත් කථා කිරීමෙන් පලක් නොවන බව වටහාගත් ඔවුන් ජීප් රථයට ගොඩවැදුන හ. ආපහු හරවගත් ජීප් රිය යන්න පිටත් වුනා. ඒ යන අතරවාරෙදිත් කිහිප විටක්ම තරුණිය කථා කරන්න උත්සහා කලත් ඒ හැම විටකම පොලිස් නිලධාරියා අතින් සන් කරමින් නිහඬවන ලෙස දැන්වුවේ ය. පොලීසිය තුලට රැගෙන ආ පීටර්වත් තරුණියවත් කෙළින්ම පොලිස් නිලධාරියාගේ නිල කාමරයට රැගෙන ගිය අතර කෙලවරක තිබූ බංකුවේ වාඩිකරවූ නිලධාරියා මේස ළග පුටුවේ හිඳගනිමින්ම අර තරුණියට ඒ ආසන්නයට කැදවා ගත්තා. "හ්ම් දැං කියමු බලන්න තමුන්ගේ නම මොකක්ද?" "මගේ නම ප්‍රේමවති. මම...." "වැඩිය කථා එපා අහපු දේට විතරක් උත්තර දුන්නාම ඇති". "හරි තමුන් ඉන්නේ කොහෙද? දෙමව්පියෝ කවුද?". "සර් මගේ තාත්තා තමයි පියදාස මුදලාලි කියන්නේ". එහෙම කිව්වා විතරයි පොලිස් නිලධාරියාගේ මුහුණ වෙනස්වුනා. ඊට පස්සේ වාඩි වෙලා හිටපු පුටුවෙනුත් නැගිටලා මේසේ ඉදිරියේ තිබුනු පුටුවක් පෙන්නලා "ඉදගන්න මිස්". තරුණිය ඒ පුටුවෙන් වාඩී උනාට පස්සේ නිලධාරියාත් තමන්ගේ පුටුවෙන් වාඩි වෙලා "කලින් කියන්න එපායෑ මිස් හරි කමක් නෑ දැං මොකද වුනේ කියලා කියන්නකෝ". තරුණිය සිද්ධවුනු දේ මුල ඉදන්ම නිලධාරියාට කිව්වා ය. ඒ වෙලාවේ පීටර් දිහාට අවඥා සහගත බැල්මක් හෙලු පොලිස් නිලධාරියා "මිසුත් හරි මිනිහෙකුගෙන් තමයි උදව් ඉල්ලලා තියෙන්නේ. මේ වගේ මිනිස්සු හොරකම් කරලා ඇහැට කනට පේන්න ඉන්නවනම් උදව්වටත් එනවා". "අනේ එහෙම නෑ සර්" කියලා තරුණිය කිව්වත් ඒක නෑසුනා වගේ පසෙකට හැරිලා "කොස්තාපල් පියදාස මුදලාලිට කථා කරලා දුව මෙහේ ඉන්නවා කියන්න. ඊට පස්සේ මෙන්න මේ  මිනිහව පරික්ෂා කරලා බලනවා චේන් එක තියෙනවද කියලා". කිව්ව විදිහටම ඒ පොලිස් රාලහාමි පීටර්ගේ හැම තැනම අතගාලා බලලා ඔළුව හොල්ලලා නෑ කිව්වා. "එහෙනම් ගිහිල්ලා දානවා ඔය මිනිහව කූඩුවට". "මොකෝ අයිසේ කාගේ හරි පොකට් එකකට ගහන්න ගිහින් මාට්ටු වුනාද?" කූඩුව ඇතුලේ හිටපු මිනිහෙක් එහෙම ඇහැව්වා. ඒත් පීටර් උත්තර දෙන්න ගියේ නෑ නිහඬවම සිටියේ ය. එදා රෑ ගත කරන්න වුනේ කූඩුව ඇතුලේ පීටර්ට ඇතිවුනේ මහාම දුකක්. නින්ද ගියෙත් නැති තරම්. ගෙදර අය හොයනවද? යාළුවෝ සංගීත සංදර්ශණය බලන්න ගියාද? ඒ අයට මේ ගැන ආරංචි උනාද? වගේ දහසක් ප්‍රශ්ණ විතරක් නෙමේ හිතට දැණුනු දුකත් කියලා නිම කරන්න බැරි තරම්.

පසුවදා උදේ 10ට විතර කූඩුවේ දොර ඇරපු කොස්තාපල් "අන්න තමුසෙට ලොකු සර් කථා කෙරුවා"

"පියදාස මුදලාලිගේ හොඳකම නිසා අද තමුසේ බේරුණා නැත්නම් මම දන්නවා කරන්න ඕනා දේ".

"කොස්තාපල් මෙන්න මේ මිනිහගෙන් පොතේ අත්සනක් අරන් යවනවා"

පොලිසියෙන් එළියට බැහැපු පීටර් කඩිමුඩියේ ගෙදර යන්න පිටත්වුනේ ය. අතරමග බොහෝ දෙනෙක් මේ ගැන විමසුවත් පීටර් උත්තර නොදීම ගේ ඇතුලට වැදී එදා දවසම එළියටවත් නොබැස්ස ඔහු ගේ ඇතුලටම වෙලා සිටියේ ය. ගෙදර අයට සිද්ධ වෙච්චි දේ කිවූ අතර ඔවුන් "ගනන් ගන්න එපා"  එහෙම කියලා පීටර්ව සැනසූ හ. පසුවදා උදේ සුපුරුදු විදිහට රැකියාව සඳහා වෙළඳ වීදියට ගියත් හැමෝම පීටර් දිහා අමුතු සතෙක් දැක්කා වගේ බලන අතර ඔවුනොවුන් එකිනෙකා රහසින් මොනවදෝ කියවන්නට වූ හ. ඒ අතර සමහරෙක් පීටර්ට ඇහෙන්නටම "චේන් එකක් කඩලලු" කිව්වේ ය. පීටර්ට පුදුම කේන්තියකුයි, දුකකුයි දැනුනෙන් වැඩකරන එක පැත්තකට දාපු ඔහු ආපහු හැරි නිවස බලා ආවේ ය. ගිල්බට්ගේ අම්මා වෙච්චි දේ ගැන ඇසුවිට. පීටර් සිදුවූ සියල්ල නොවලහා ඇයට කීවිට විස්තරය අසා උන් ඇය පීටර්ගේ හිස අතගා "දුක් වෙන්න එපා ඕක පස්සේ හරි යයි"  කියා හිත සැනසුවා ය.

අම්මා පැත්තකට ගියාට පස්සේ පීටර් සිද්ධිය ගැන ගැඹුරින්ම කල්පනා කෙරුවේ ය. ඇයි එහෙම උනේ? එතකොට තමයි මතකයට ආවේ මීට මාසයකට පමණ පෙර පාරේ ගමන් කරමින් සිටි තරුනියකට යාළුවෝ කට්ටිය පුංචි විහිළුවක් කල අතර තරුණිය කෝපාවිෂ්ඨ විය. මොන මොනවදෝ මුමුණමින් බැන වදිමින් ඇය පිටත් වී ගිය හ. මද වේලාවකින් එතනට පැමිණි පොලිස් ජීප් රියක් තරුණ පිරිසට බැන වදිමින් පරිස්සමින් සිටින ලෙස අනතුරු අඟවා පිටත්විය. පසුව දැනගන්නට ලැබුනු ආකාරයට ඇය අදාල පොලිස් නිලධාරියාගේ නැගණිය බව දැනගන්නට ලැබුනේ ය.

ඉතිං මේ ඒ සඳහා ලැබු පලිය බව ඔහුට පැහැදිලි වුවේ ය.

කල්පනාවේ නිමග්නව සිටින අතර නිවස ඉදිරිපසින් වාහනයක් පැමිණ නවත්වන හඬ ඇසුනෙන් නිමග්නව සිටි කල්පනාවෙන් මිදුනු පීටර් වහාම දොර පියන තුලින් මාවත දෙස දෙනෙත් යොමු කළේ ය. ඒත් සමගම නිවස පිටුපස සිටි ගිල්බට්ගේ මව ඉදිරිපස දොර දක්වා ගොස් වාහනයෙන් පැමිණි අය සමග කුමක්දෝ කථා කරන බව ඇසුනත් එය හරිහැටි පැහැදිලි නොවුනි. නමුත් සුපුරුදු කාන්තා හඬකින් පීටර් යනුවෙන් යමක් විමසන බව ඇසුනෙන් උන් තැනින් නැගිටගත් පීටර් ඉදිරිපස දොර අසලට ආවේ ය.

සැබැවින්ම ඔහු ඈ හදුනාගත්තේ ය. ඒ ප්‍රේමවතිය පෙර දිනක චේන් පොටක් නැතිකර ගත් යුවතිය ඇයයි.

පීටර් දුටු වහාම සිනා රැල්ලක් ඇගේ මුවේ පිපින. දුඹුරුවන් සමක්වුවද ඇය සුන්දරය. සිනාසෙනවිට සුන්දරත්වය තවත් පැහැබර වන බව පෙණුනි. පෙරදා දුටුව හැඬුම්බර ශෝකාකූල මුහුණ වෙනුවට සිනාසෙන අයකු දොරකඩ සිටී. පීටර්ගේ සියළු දුක්ක දෝමනස්සයන් හිරු දුටු පිණි මෙන් වියැකි ගියේ ය.

හරවා සිනාවකින්ම පිළිතුරු සැපයූ පීටර් ඇයට නිවස තුලට පැමීණෙන ලෙස ආරාධනය කලෙන් ඇයද හාත්පස බලමින්ම නිවස තුලට පැමිණියා ය.

"මට සමාවෙන්න මම නිසා ඔයාට වෙච්ච කරදරයට" පීටර් සිනාසුනා පමණි. ඇය දිගටම හඬ අවදී කලා ය.

"අනේ බලන්නකෝ මාර වැඩේනේ වෙලා තියෙන්නේ එදා නැතිවුනා කියපු චේන් එක ගෙදර ගිහින් ඇදුම් මාරුකරද්දි ගවුමේ ඇතුලු පැත්තේ පැටලිලා තිබිලා හම්බවුනානේ. මට ඒ වෙලාවේ නිකමටවත් එහෙම හිතුනේ නෑනේ. අපරාදේ ඒ හින්දා ඔයාටයි ඒකෙන් කරදර වෙන්න වුනේ මට එදා රෑ නින්ද ගියෙත් නෑ. හිතුනෙම මම මහා අපරාදයක් කෙරුවා වගේ හැඟීමක්."

"ඇත්තටම මට හරිම සතුටුයි චේන් එක ලැබුනු එක ගැන" පීටර් කිව්වේ ය.

"සිද්දවුනු දේට ඔයාගෙන් කොහොමද සමාව ගන්නේ කියලා තමයි පහුගිය දවස් දෙකේම හිතුවේ. ඔයාව මුණගැහිලම කථා කරමු කියලා මගේ යාළුවෙක් තමයි කිව්වේ. ඉතිං එයත් එක්කලම තමයි අද ඔයාව හොයාගෙන ආවේ."

"අනේ ඉතිං එයා එළියේ නේද? ඇතුලට එන්න කියන්න" පීටර් එසේ කී විට ඇය කිව්වේ "කමක් නෑ එයා එහෙම ඉඳිවී" කියා ය.

ආගිය තොරතුරු ගැන කියවමින් තව බොහෝ වේලාවක් කථා කරමින් සිටි ඔවුන්ට කාර් එකෙන් නලා හඬවන තෙක් හවස්වන බව නොදැණුනි. නලා හඬ නැගෙනවාත් සමග අත් ඔරලෝසුව පිරික්ෂු ඇය පිටත්වීමට සිදුවන බව කියා එළියට ආ අතර ඒ පිටුපසින්ම පීටර්ද මිදුලට ආවේ ය. කාර් එක ළගට ගිය ප්‍රේමවති එහි දොර විවෘත කර පාර්සලයක් ගෙන එය පීටර් වෙත දිගු කලා ය.

"මොකක්ද?" පීටර් විමසුවේ ය. "පුංචි තෑග්ගක්" ඇය සිනාමුසු බැල්මකින් කිවා ය.

කාර් එක ඈත නොපෙනි යන තුරුම බලා සිටි පීටර් ගෙතුල ගොස් පාර්සලය ලෙහා බැලීමේදි කමිසයකට හා කලිසමකට අවශ්‍ය රෙදි ඒ තුල තිබුනී.

පසුවදා සිට සුපුරුදු ලෙස රාජකාරි සඳහා පිටත්වූ අතර ගෙවී ගියේ දින දෙකක් පමණි කුඩා පිරිමි ළමයෙක් පීටර් හමුවීමට පැමිණ ඔහුගේ අතට පුංචි තුණ්ඩුවක් ලබා දී පිටව ගියේ ය.

හැකිනම් අද හවසට මාව හමුවන්න. යනුවෙන් ලියා එහි වීදියක් සහ නිවසක අංකයක්ද සදහන් කර තිබුනී. පහතින් අත්සන් කර තිබුනේ ප්‍රේමවති යනුවෙනි.

හිතට කුමක්දෝ නුහුරු නුපුරුදු හැඟිමක් ගලා එන අතරම පීටර් කල්පනාවකට වැටුනේ ය.

 

හවස පීටර් ලියා තීබු වීදියේ අංකය සදහන් නිවස සොයා ගියේ ය. එය මහල් දෙකකින් සමන්විත සුවිශල් නිවාසයකි. හිතට චකිතයක් පැණ නැගිණිද ගේට්ටුව ළග ඇති විදුලි සීනුව නාද කර මද වෙලාවක් රැදී සිටිවිට ගේට්ටුව විවෘත කල පුද්ගලයෙකු "පීටර් මහත්තයද?" විමසුවේ ය. එයට හිස වනා පිළිතුරු දුන් අතර ඔහුව නිවස දක්වා කැදවාගෙන ගොස් ඉදිරිපස කොටසේ පුටුවක් වාඩිවන ලෙස දැන්වුයේය. සිහිනයකින්වත් විඳ නැති සුව පහසුවක් පුටුව මත වාඩි වූ පීටර්ට දැණුනේ ය. මද වේලාවකින් නිවස තුලින් ප්‍රේමවති එළියට ආ වාය. පීටර් උන් තැනින් නැගී සිටියේ ය. ඔහු දෙසට දකුණු අත දිගුකල ඈ "ගුඩ් ආෆ්ටර්නූන්" කීවා ය. පීටර් ඇගේ දෙසට අත දිගු කරද්දි ඔහුගේ අත වෙව්ලන බවක් දැණුනේ ය. අත අල්ලා සොලවා "වාඩිවෙන්න" ඇය පීටර්ට කීවා ය. පීටර් වාඩී වූ අතර එය යුගල පුටුවක් බැවින් ප්‍රේමවතිද පීටර් අසලින් වාඩී විය. පීටර්ටනම් මහත් කෝල හැඟීමකින් හදවත පිරි ගිය අතර එය මෙතෙක් ජීවිතයේ කවරදාකවත් නොවු තරම් ප්‍රභලවිය.

"ඇයි මට එන්න කිව්වේ?" පීටර් ඇයගෙන් එහෙම ඇසුවේ ය. "ළගට ආපු නිසයි එන්න කිව්වේ ටිකක් කථා කර කර ඉන්න. ඇයි ඔයාට මුකුත් වැඩක් එහෙම තියෙනවද? එදා ඔයාව මුන ගැහිලා ගියාට පස්සේ ඔයා කොච්චර හොඳ කෙනෙක්ද කියලා හිතුනා. ඉතිං ආයෙත් ඔයා එක්ක කථා කරන්නේ කවදද කියලා තමයි හැම තිස්සේම හිතුනේ" ප්‍රෙමවති කීවා ය.

මේ ප්‍රේම කතාවක ආරම්භය බව පැහැදිලිය. ඒ නිසා ඒ පිළිබදව වැඩිදුර යමක් මෙහි සදහන් කරමින් කතාව දික් ගස්සන්නට මා අදහස් නොකරමි. මන්ද මේ කතාවේ නායකයා පීටර් නොවන නිසා ය. නමුත් මෙලෙස ආරම්භවූ පීටර්ගේත් ප්‍රේමවතීගේත් ආදර කතාව මල්වතුවල, සිනමාශාලාවල, මිතුරියන්ගේ නිවෙස්වල පමණක් නොව ලැගුම්හල් වලදි පවා දිග හැරිනි. මේ සම්බන්දය ගැන කනින් කොනින් ආරංචි වීමෙන් ගිල්බට්ගේ පියා කළබලයට පත්විය. කිහිප විටක්ම මෙය නවතා දමන්නැයි පීටර්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රේමවතිගේ පියාවූ පියදාස මුදලාලි ගැන හොදාකාරවම දැන සිටි බැවිනි. මුදල්, දේශපාලන, මැර බලයෙන්ද පරිපූර්ණ වූ අයකු ලෙස ඔහු චිර ප්‍රසිද්ධය.

ගිල්බට්ගේ පියා කියූ පරිදිම පියදාස මුදලාලිටද මේ සම්බන්ධය ගැන ඉව වැටිනි. එයින් පසු පීටර්ට පමණක් නොව ගිල්බට්ගේ පවුලේ අයටද නොයෙක් හිරිහැර විඳින්නට සිදුවිය. පියාගේ රැකියාව පවා අහිමිවන තැනට පත්විය. ඒ නිසා අවසානයේදි පීටර්ව නිවසින් පිටත් කර හරින්නට අකමැත්තෙන් වුවද ඔවුන් තීරණය කල හ. ගිල්බට්ගේ මව ඉතිරි කර තිබු පීටර්ගේ මුදල් ඔහු අත තබා ජීවිතය ගලවාගෙන කොහේ හෝ දුරකට යන ලෙස හැඬු කඳුලින් ඉල්ලා සිටියා ය. ඒ අනුව එළවළු රැගෙන එන වාහනයක නැගී පීටර් කැකිරාවට පැමිණියේ ය.

ඉන් ඉක්බිති අප්පු ඇමතු හාමුදුරුවෝ "අප්පු මාමේ චාර්ලිස් උපාසක මහත්තයට පණිවිඩයක් යවන්නකෝ හෙට හවස්මානයේ ඇවිත් මාව හම්බ වෙන්න කියලා".

"මේ උපාසක මහත්තයට ඉන්න බණ මඩුවෙන් පැදුරක් කොට්ටයක් දාලා තියන්න"

"අපි බලමුකෝ මහත්තයෝ හෙට දිහාට මොකක් හරි රස්සාවක් හොයා ගන්න" හාමුදුරුවෝ එහෙම කිව්වේ පීටර්ටයි

හතරවන පරිච්ඡේදය:

පසුදා සවස වයස අවුරුදු පනහක් ඉක්මවූ අයකු ස්වාමීන් වහන්සේ හමුවට ඇවිත් තිබුනි. ඔහුට පීටර්ව දක්වමින් ස්වාමින් වහන්සේ "මේ තරුණ මහත්මයා රැකියාවක් හොයාගෙන ආපු කෙනෙක් පුළුවන්නම් මොකක් හරි වැඩක් පලක් සොයා දිය හැකිනම් එය මහත් උපකාරයක්" ලෙස හැදින්වූ හ. "එහෙමයි අපේ හාමුදුරුවනේ මං සොයා බලන්නම්" කියා පීටර් සමගද මද වෙලාවක් කතාබස් කරමින් සිට ඔහු පිටව ගියේ ය.

සතියක් පමණ ඉකුත්වූ පසු නැවතත් පංසලට පැමිණි ඔහු හාමුදුරුවන් සමග කතිකා කර ගැනීමෙන් අනතුරුව පීටර් හමුවී ඔහුට තමන් සමග යාමට හැකි බවත් කරන්නට ඇති රැකියාව පිළිබදවත් ඔහුට හදුන්වා දෙන ලදි.

මද වෙලාවකින් පීටර් හාමුදුරුවන්ගේ පා වැඳ චාර්ලිස් නමින් හදුන්වන මේ පුද්ගලයා සමග මහමගට පිවිසියේය. එතනින් මද දුරක් ගොස් අතුරු මාර්ගයක් ඔස්සේ ඉදිරියට ඇදී ගියේ ය. දකුණු පසින් වන පියසත් වම්පසින් ඉමක් නොපෙනෙන තෙක් විහිදිගිය කුඹුරු යායත් දැකිමෙන්ම පීටර්ගේ සිත ආශ්වාදයකින් පිරි ගියේ ය. වෙල් යාය පිස හමන සුළඟ රැගෙන ආ කිරි වදින ගොයමේ පුසුඹත් නාසය කිති කවන සුළුය. විශල් තුරු සෙවන් යට ඇවිදයෑම ගත නිවා සනහන්නේ ය. චාර්ලිස් මේ මුළු දුරම තමන් පැමිණි පාපැදිය තල්ලුකර ගනිමින් පයින්ම ඇවිද ආවේය. විටෙක දොඩමළු වෙමින් තවත් විටෙක සිතුවිලි අතර නිමග්න වෙමින්ද ඔවුන් ඊළගට පිවිසියේ සංවර්ධනය නොවු තවත් අතුරු පාරකටය. එය යොමුව ඇත්තේ කුඩා ගම්මානයක් දෙසටය.

මැටි බිත්ති බැඳ වහල පිදුරු සෙවිලි කරන ලද ඉදිරිපස පිල්කඩක්ද සහිත කුඩා නිවාසද බෝග වර්ග වගා කල ගෙමිදුල්ද දැක ගැනීමට හැකි ය. එවැනි නිවාස දහයක් පමණ පසුකල විට චාර්ලිස්ගේ නිවස හමුවේ. මෙම ගම්මානයේ අය මේ පුද්ගලයා හදුන්වනු ලබන්නේ චාලි බාස් යනුවෙනි. චාලි බාස්ගේ නිවස අනෙකුත් නිවාස වලට වඩා වෙනස්ය. ගඩොල් මත මැටි බදාම අතුරා සකස් කල බිත්ති මෙම නිවසේ දැකිය හැකි අතර ප්‍රමාණයෙන්ද අනෙකුත් නිවාස වලට විශාලය. සුපුරුදු මැටියෙන් සකස් කල ඉදිරිපස පිල් කඩ මේ නිවසේද දක්නට තිබූ අතර මේ පිල්කඩ මත අවුරුදු දාහතරක පමණ වයසේ පසුවන පිරිමි ළමයෙකු සහ ගැහැණු දරුවෙකු පාඩම් කරමින් සිටිය හ. හරහට ලී දඩු දමා සකස් කරන ලද ඉදිරිපස ගේට්ටුව විවෘත කරමින් ඉඩමට ඇතුලුවනවිට එම ශබ්දය ඇසුනු ගැහැණු දරුවා ඉදිරියට පැමිණ මෙතෙක් පාපැදියේ හැඩලය මත එල්ලා ඇති මල්ල ගලවා තමන් අතට ගත්තා ය. චාලි බාස් ඇයගේ හිස අතගෑවේ ය. එවිටම "අම්මේ....... තාත්තා ආවා" යැයි හඬ නඟා පැවසුවා ය. ගෙයි පිටුපසින් චීත්තයක් හා හැට්ටයකින් සැරසී මුව පුරා සිනාවකින් පුරවා ගත් වයස අවුරුදු හතලිහක පමණ කාන්තාවක්ද, ඒ පිටුපසින් වයස අවුරුදු විස්සක පමණ තරුණියක්ද මිදුලට පැමිණියා ය. පිටුපසින් පැමිණි තරුණියද චීත්තයකින් හා හැට්ටයකින් සැරසී සිටි අතර මුලින් පැමිණි කාන්තාවගේ හැඩහුරුකමින් යුක්ත වීම නිසා මේ ඇයගේ දියණියක විය යුතුයැයි පීටර් අනුමාන කලේ ය.

මෙහි අත්‍යාවශ්‍යම චරිතවල නාමයන් පමණක් සදහන් කරන අතර අනෙකුත් පුද්ගලයන් පිළිබඳව හැදින්වීම අවශ්‍ය නොවනු ඇතැයි මා සිතමි. එසේ කිරීමෙන් ඔබ වෙහෙසට පත් කරන්නට මාගේ කිසිදු කැමැත්තක් නොමැති බවද මෙහිලා සඳහන් කරමි.

මද වේලාවක් පීටර් සමග කථා බස් කරමින් පිල මත වාඩී වූ චාලි බාස් සිය පවුලේ අයව පීටර්ට හදුන්වා දුන්නේ ය. බිරිද මරියහාමිය. වැඩිමහල් දියණියගේ නම කැතරින් විය. අනෙක් දෙදෙනා නිවුන් දරුවන්වූ අතර පිරිමි දරුවා ඔස්ටින් ලෙසත් ගැහැණු දරුවා මල්ලිකාය.

මද වේලාවකට පසු මරියහාමි ගෙතුලින් එබී බලා "බත් උයලා තියෙන්නේ මූණ කට හෝදගෙන ඇවිත් කෑම කමු" කිව්වා ය. "එහෙමනම් යං" කියූ චාලි බාස් නිවස පිටුපසින් ගොස් කලගෙඩි පලෙන් මැටි කෝප්පයකට වතුර පුරවා පීටර්ට දුන්නේ ය. අත පය මුහුණ හොදා ගැනීමෙන් පසු එම මැටි කෝප්පයටම තවත් වතුර එකක් පුරවාගත් චාලි බාස්ද මුහුණ දොවා ගත්තේ ය. ඉන් අනතුරුව නිවස තුලට පැමිණි ඔවුන් එහි මේසයක් මත තිබු පිගන් දෙකකට බෙදා තිබූ බත් කෑමට පටන් ගත් හ. එම පිගන්වල වැව් මාළු, ගොටුකොල සම්බල්, මුං ඇට හොද්දක් සහ මිරිස් බැද තිබුනි. පීටර් කවරදාකවත් වැව් මාළු ආහාරයට ගෙන නොතිබුණු අතර ජීවිතේ කවරදාකවත් මෙවැනි ආහාර වේලක් රස විඳ නොමැති බවද සිහිපත් විය. ආහාර ගැනීමෙන් පසු අතුරුපස ලෙස ගස්ලබු කෑලි කපා පිගානක තබා තිබුනි.

නාගරීක ජීවිතයක් ගෙවා තිබූ පීටර් ගම්බද ජීවිත මොනතරම් සුන්දරදැයි කල්පනා කලේ ය. නගරයේ කලබලකාරි පරිසරයෙන් මිදි සරල ජීවිත ගෙවන මිනිසුන් සහිත ගම්මානයක ජීවත් වීමට ලැබීම තමන් ලද භාග්‍යක් බව පීටර් සිතුවේ ය.

පස්වන පරිච්ඡේදය:

චාලි බාස්ට අයිති ගඩොල් පෝරණුවෙත්, කුඹුරු යායෙත් කටයුතු කරමින් දැන් පීටර් මේ පවුලේ සාමාජිකයෙක් ගානයි. ඉතිං මේ විදිහට අවුරුද්දක්ම ගෙවිලා ගියේ ය. ඒ කාලේ අතර කුඹුරු යායත් කන්න දෙකක්ම අස්වද්දලා හොද අස්වැන්නකුත් ගෙට ගත් අතර බොහෝ අය කිව්වේ පීටර්ගේ වාසනාව මේ නිවසට හිමිවී ඇති බවයි. අත්‍යාවශ්‍යම දෙයක් වුවත් මිළදි ගැනීමට බොහෝ දුර ගෙවා නගරයට යායුතු බැවින් කඩයක් දමා වෙළදාම් කිරිමෙන් මෙයිටත් වඩා දියුණු විය හැකි බව පීටර් චාලි බාස්ට කියා සිටියේ ය. චාලි බාසුත් මේකට කැමති උනේ ය. පුංචියට පටන් ගත්තු කඩේ බලාගෙන ඉද්දිම දියුණු වන්නට විය. හැබැයි දැන්  නිකම්ම නිකන් පීටර්, පීටර් මුදලාලී වුනේ ය. එපමණක් නොවේ කැතරින්, මුදලාලි හාමිනේ වුනා ය.

චාලි බාස්ගේ ඉඩමෙම කෙලවරකින් කඩේට යාබදව හදාගත්තු පුංචි පැල තමයි පීටර්ගෙත් කතරින්ගෙත් නිවහන වුනේ. කොහොමින් කොහොම හරි තවත් අවුරුද්දක් ගෙවිලා ගියේ ය. මේ පුංචි පැලට තුන්වෙනියෙක් එකතු වුනේ කිරි සුවඳින් පුරවමින්. පවුලට එකතුවුනු අළුත් සාමාජිකයා පුතෙක් හැමෝම කිව්වේ තාත්තාගේ කපාපු පලුව කියලයි. හැබැයි තාත්තාගේ හැඩරුව සහිතව ඉපදුනත් අම්මාගේ සමේ පැහැය තමයි මේ පුංචි පුතාට තිබුනේ. මේ අළුත් උපන් පුතාට නම තිබ්බේ විමලසේන කියලා. පුතා ඉපදුනාට පස්සේ මේ පවුල තව තවත් සාරවත් වන්නට විය. ඒ කොහොම උනත් පොලිසියේ රන්බංඩා සාජනුයි, සිගිරිය පැත්තේ හාමුදුරු කෙනෙකුයි එක්ක එකතු වෙලා පීටර් මිහින්තලේ පැත්තේ නිධානයක් ගොඩදැම්මයි කියන කතාවත් ඔය කාලේ ගමේ පැතිරිලා තිබුනා. ඒකේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් කිහිපවිටක්ම පීටර් හොයාගෙන ආපු සාජන් මහත්තයා පීටර් එක්ක එහෙ මෙහෙ යන එකනම් සාමාන්‍ය දෙයක් බවට පත්වුනා. සාජන් මහත්තයාව පීටර් අදුරගෙන තිබුනෙත් කඩේට කලමනා ගේන්න නගරයට යද්දි පොලීසිය ළග කඩේකින් තේ බොන්න පුරුදු වෙලා තිබුනු නිසා එතනට එන සාජන් මහත්තයත් එක්ක කරපු කතා බහ හින්දා කියලා පීටර්ම ගමේ කට්ටිය එක්ක කියලා තිබුනේ ය.

පුතාට අවුරුදු තුනක් විතර පිරෙද්දි පීටර් ප්‍රධාන පාරට මායිම්ව අක්කර පහක ඉඩමක් මිලදී ගත්තේ මේ අතරතුරදීයි. මේ ඉඩමට මායිම්ව පදිංචි වෙලා හිටියේ වයස අවුරුදු හැත්තැවක විතර ආච්චි කෙනෙක්. මේ ආච්චිගේ පුතයි ලේලියි දෙන්නවම අලියා ගහලා මැරිලා තිබුනේ තමන්ගේ පුංචි දුවව අනාථ දරුවෙක් බවට පත්කරමිනුයි. අම්මාගේ සහෝදරයෙක් ඇවිත් මේ දැරිවිව අරගෙන යන්න හැදුවත් තමන්ගේ පුතාගෙන් කියලා ඉතිරි එකම සළකුණ මේ දරුවා නිසා තමන්ගෙන් දුරස්කරනවට ආච්චි අකමැත්ත ප්‍රකාශ කලා ය. මේ දැරිවියගේ නම වුනේ ස්වර්ණා නම වගේම සිරුරත් පාටවුනු ඒ වගේම හරිම අහිංසක පෙනුමක් තමයි ඇයගෙන් දිස්වුනේ. මේ ආච්චි ජීවත්වුනේ පීටර් මුදලාලි මිළදි ගත්තු ඉඩමේ කුලි වැඩ කරලා හොයාගත්තු මුදලකින්. ඒ හින්දා මේ ඉඩමේ කලින් අයිතිකරුවා මේ ගැන පීටර්ට කියලා තවදුරටත් ඇයට මේ වත්තේ කුලි වැඩ ලබාදෙන ලෙස කැමති කරවගෙන තිබුනේ ය.

පීටර් මේ මිළදිගත් ඉඩමේ නිවසක් සහ කඩයක් ඉදිකිරිමටත් කටයුතු කර තිබු නිසා නිතරම මෙහාට එන්න යන්න සිදුවුනේ ය. ඒ එන සමහර දවස්වල විමලසේනත් ඒ පිටිපස්සෙන් ඇවිත් අර දැරියත් එක්ක වත්ත පිටියේ දුව පනිමින් සෙල්ලම් කරන්න පුරුදු වෙලයි හිටියේ.

විමලසේන පාසැල් යන්න පටන් ගනිද්දි පීටර් නිවසේ ඉඳිකිරීම් කටයුතු අවසන් කර තිබුනේ ය. ඒ හින්දා ඉක්මණින්ම නිවසේ පදිංචියට ආවේ ගමේ තිබුණු කඩය ඔස්ටින්ට බාර දීලා ඒක දිගටම පවත්වාගෙන යන ලෙස දැණුම් දීමෙන් පසුවයි.

අළුතින් ඉදිකරන ලද කඩය කඩ කාමර දෙකකින් සමන්විතවූ අතර එක් කඩ කාමරයක ගොඩනැගිලි ඉදීකිරීම් උපකරණ අළෙවිය සඳහාත් අනෙක් කොටසේ සිල්ලර වෙළදාම් සඳහාත් යොදාගත් අතර සිල්ලර කඩයේ කටයුතු සිදුකලේ විමලසේනගේ මව විසින්ය.

මේ අතර කාලයක් පටන් පීටර්ගේ හිතේ සිහිනයක්ව තිබූ වාහනයක් ගැනීමද ඉටුකර ගත්තේ ය. ඔව් ඒ ලොකු ලොරියක් මිළදි ගැනීම ඒ සඳහා පීටර්ට බැංකු ණයක් ලබාගන්නත් සිද්දවුනා. ඒ කොහොම උනත් මේ නිසා මාස කිහිපයකට වතාවක් අගනගරයට යන්න එන්නත් පුළුවන් වුනු නිසා ඒ ගමන්ම විල්බට්ගේ පවුලේ අයවත් බලන්න යන්න පීටර් අමතක කෙරුවේ නෑ. ගිල්බට්ගේ නංගි දකුණු පලාතේ කෙනෙක් එක්ක විවාහ වෙලා එහාටම පදිංචියට ගිහිල්ලා තිබුනා. ගිල්බට් විවාහ වෙලා තිබුනේ මුඩුක්කු පේලියේම දන්න කියන තරුණියක්ව. තාත්තා වෙලදාම් කරපු පලතුරු තට්ටුව තිබුනු තැන දැන් තියෙන්නේ ඉඩ පහසුකම් තියෙන මහල් දෙකකින් සමන්විත විශාල කඩයක් ඒක සම්පූර්ණයෙන්ම ගිල්බට්ටම අයිති වෙලා තිබුනා. ඒකේ ඉහල මහලේ තමයි ඔවුන් පදිංචි වෙලා හිටියෙත්. පහල මහලේ පපඩම් නිෂ්පාදනාගාරයක් බවට පත් වෙලා සේවකයෝ දහයක් පහළොවක් වැඩකරමින් සිටියා. ගිල්බට්ලාගේ මහ ගෙදර අංග සම්පූර්ණ නිවසක් බවට පරිවර්ථනය වෙලා අම්මයි තාත්තායි දෙන්නා සැප පහසුවට ඉන්නවා දැක්කම පීටර්ට දැණුනේ හරිම සතුටක්. ඒ විතරක් නෙමේ පීටර් ලබලා තියෙන දියුණුව ගැන ඒ අයටත් සතුටුයි.

විමලසේන පාසලේදි එතරම්ම දක්ෂතා දක්වපු දරුවෙක් නොවෙයි. ඒ හින්දා සාමාන්‍ය පෙල දක්වා අධ්‍යාපනය හදාරපු විමලසේනට පීටර් කිව්වේ පාසල් යන එක නවත්වලා කඩේ වැඩට අම්මට උදව් වුනානම් හොදයි කියලයි. විමලසේන ඒකට එතරම්ම කැමතිවුනේ නැත්තේ හැම දවසකම ස්වර්ණත් එක්ක විහිළු තහලුවෙන් ගතකරපු කාලයට තිත තියන්න වෙන නිසයි. නමුත් තාත්තාගේ කීමට ඔහුට පාසල් ගමන නවත්වලා කඩේ වැඩට යන්න සිද්දවුනා.

ස්වර්ණගෙන් දුරස්වෙලා කඩේ වැඩට හිරවුනු ඒ කාලේ තමයි විමලසේනගේ ජීවිතේ අමිහිරිම කාලය කියලයි ඔහුට හිතුනේ. බ්‍රහස්පතින්දා දවසපීටර් මුදලාලි කඩවලට අවශ්‍ය දේවල් ගේන්න අගනගරයට හරි වෙනත් දුර ප්‍රදේශවලට හරි යන හින්දා එදාට කඩේට නිවාඩු දවස නිසා එදාටනම් විමලසේන මිටෙන් මුදාහල කුරුල්ලෙක් වගේ උදේ ඉදන්ම ඉන්නේ වත්ත පල්ලෙහට වෙලා ස්වර්ණත් ඒ වෙලාවටම වගේ එතනට එනවා. මේක කුඩා කාලේ ඉදන්ම තිබුනු පුරුද්දක් හින්දා ආච්චිටනම් අමුතු දෙයක්වුනේ නෑ. සතියක් පුරාවට හිතේ ගොඩගැහිලා තිබුනු දේවල් කියව කියවා වත්ත පල්ලෙහා ගහක් යටට වෙලා ඉද්දි දවස ගෙවෙන බවත් අමතක වෙනවා. දවල් කෑමට අම්මා කතා කරනකොට තමයි වෙලාව ගත වෙලා කියලා දන්නේ.

ඒ කොහොම උනත් මේ විදිහට වැඩි කාලයක් ගත කරන්න බැරි බව වැටහුනේ. පියා විසින් ස්වර්ණගේ සම්බන්දෙට තහංචි පනවන්න පටන් ගනිද්දියි. ඒත් විමලසේනගේ හිතේ ස්වර්ණා ගැන තිබුනේ නොබිදෙන තරමේ සෙනෙහසක්, ලෙන්ගතුකමක්.

පුංචි කාලේ පටන් අරන් බැඳීම් වර්ධනය වන තෙක්ම ඉදලා ඒවා බිදලා දාන එකනම් මහ පව් වැඩක් කියලයි මමනම් හිතන්නේ.

කොහොමින් කොහොම හරි දවසක් ස්වර්ණගේ ආච්චිට එන්න කියලා පීටර් මුදලාලි ස්වර්ණගේ හිතේ පුංචි මහත්තයා ගැන අදහසක් තියෙනවනම් ඒක අත හරින්න කියලා කිව්වේය. ස්වර්ණා පුංචි කාලේ විමලසේනට කථා කෙරුවේ පුංචි මහත්තයා කියලා ඒකයි පීටරුත් එහෙම කිව්වේ. හැබැයි මේ වෙද්දි හොදටම හිතවත්කම වැඩි දියුණු වුනු නිසා විමලේ කියල තමයි කතා කෙරුවේ. එහෙම කියන්න කියලා විමලෙමයි ස්වර්ණට කිව්වෙත්. එදා හවස ගොඩක් වෙලා කල්පනා කර කර හිටපු ආච්චි පීටර් මුදලාලි කියපු කතාව ස්වර්ණට කිව්වා. ඇත්තටම ස්වර්ණට මේ කතාව අහලා හරිම දුකයි. ඒත් මොනවා කරන්නද? දුප්පත්කම නිසා නේද එහෙම වුනේ කියන සිතුවිල්ලයි ස්වර්ණගේ හිතට ආවේ.

පහුවදා උදේ ආච්චි වෙනදා වගේ උදේ අවදිවුනේ නැති නිසා ස්වර්ණා ගිහින් බැලුවා. ආච්චිට සහලෝලා උණ. ඉගුරු කොත්තමල්ලි තම්බලා දුන්නත් හවස් වෙනකම්ම අසනීප තත්වයේ අඩුවක්නම් නෑ. මොනවද කරන්නේ කියලත් හිතාගන්න බැරිවුනා. අවසානේ අල්ලපු ගෙදරට ගිහින් ඒ ගෙදර පොඩි මල්ලිට කියලා විමලසේනට පණිවිඩයක් යැව්වා.

විමලසේන තමන්ගේ අම්මට මේ ගැන කියලා තාත්තටත් හොරෙන් නගරයෙන් වාහනයක් ගෙන්නගෙන ගිහින් ආච්චිවත් අරගෙන ළගම තියෙන රෝහලට ගෙනිච්චා. දොස්තර මහත්තයානම් කිව්වේ සතියක් දෙකක් විවේක ගන්න කියලා. වැඩිය දේවල් ගැන හිතන්නත් එපා කිව්වේ හරියටම ලෙඩේ හදුනාගත්තා වගේ.

මේ අතර ස්වර්ණා තමන්ගේ මාමාට ලිපියක් දැම්මා ආච්චිගේ අසනීපේ ගැන කියලා.

ඊළග සතියෙම මාමා ස්වර්ණලාගේ ගෙදර ආවා. ඇවිත් කිව්වේ මේ තියෙන ඉඩකඩම් විකුනලා එහේ යමු කියලයි. වෙනදා වගේ නෙමේ ආච්චිත් ඒකට අකමැත්තක් පෙන්නුවේ නැති නිසා මාසෙකින් විතර ආපහු ඇවිත් දෙන්නවම කැන්දගෙන යන්නම් කියලා මාමා පිටත්වෙලා ගියේ එදා රෑ එහේ ඉදලා පහුවදාත් දවල් වෙලා.

ආච්චි පීටර් මුදලාලිට පණිවිඩයක් යැව්වා ඉඩම විකුනන්න කාව හරි හොයලා දෙන්න අපි දුවගේ මාමලාගේ ගෙදර යන්න අදහස් කරගෙනයි ඉන්නේ කියලා. මේ කතාව ඇහැව්වම පීටර්ගෙනම් ඉහේ මලක් පිපුනා වගේ ඒ හින්දා තමන්ම ඒ ඉඩම මිළදි ගන්න කැමතියි කියලා ඒ ගැන හවසට ඇවිත් කතා කරගමු කියලා. හැබැයි මේ කිසි දෙයක් විමලසේනට නොකියන ලෙසත් දැන්වුවා.

මාසයකින් එන්නම් කියපු මාමා ඊළග සතියෙම ආපහු ආවේ ඉඩම විකුණුවයි කියලා ස්වර්ණා දාපු ලිපිය හම්බුනු නිසයි. එදා රෑ එහේ ඉදලා පහුවදා උදේම කට්ටිය පිටත් වෙලා ගියා. හැබැයි ස්වර්ණා හොරෙන්ම ලිපියක් ලියලා ඒක අල්ලපු ගෙදර පොඩි මල්ලිට දීලා ගියා ඒක විමලසේනට දෙන්න කියලා.

මගේම ආදර විමලේ වෙත ලියමි.......

එකිනෙකාට නොකිව්වත් අපි අපිටම වෙන්වෙලා කියන හැඟිමයි හැම තිස්සෙම හිතට දැනෙන්නේ. ඔයාටත් එලෙසමයි කියලා මං දන්නවා. ජීවිතේ හීනයක්වුනේ හැමදාටම ඔයා එක්ක ගතකරන එක ගැන. නමුත් ඒ හීනය බොඳවන ළකුණු දැන් පහල වෙලා. ඔයාටත් නොදන්වාම ඔයාගෙන් දුරස්වෙන්න සිදුවීම ගැන පළමුවෙන්ම මට සමාවෙන්න. ඒ ඇයි කියන එක ගැන ඔයා දැනටමත් දන්නවා ඇතැයි සිතමි.

මගේ අම්මාගේ සහෝදරයෙක් මීගමුවේ ඉන්නවා කියලා මම ඔයාට කලින් කියලා තිබුනා මතකද? අන්න ඒ මාමා ඇවිත් මාවයි ආච්චිවයි එයාලගේ ගෙදරට කැන්දගෙන ගියා. ඒවා සිද්දවුනේ හදිසියෙන්මයි. ඔයා නැති ජීවිතයක් ගැන මටනම් හිතාගන්නවත් බෑ. නමුත් ඔයාට ඒකෙන් හොදක් වෙනවනම් හැම දුකක්ම දරාගෙන මට අයින් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන්නම් ඔයා ගැන විස්තරයක් එවන්න මේ සමග අළුත් ලිපිනය එවනවා.

මීට සැමදා ආදරේ

ඔයාගෙම ස්වර්ණා

ලිපිය කියවපුවාම විමලෙගේ හදවතට දැණුනේ දැඩි වේදනාවක්. මේ හැම දෙයක්ම සිද්දවුනේ තමන්ගේ තාත්තා නිසා කියලා විමලසේන දැනගෙන උන්නා. ඒ මොනවා උනත් එදා රෑම විමලසේන ස්වර්ණාට පිලිතුරු ලිපියක් ලිව්වා.

සදා ආදර මගේ ස්වර්ණා.............

ඔයා එවලා තිබුනු ලිපිය කියවලා මට හරිම දුකක් හිතුනා. කුඩා කාලයේ පටන් අපි දෙන්නා හැර අපේ ගතිගුණ හොදින් දන්න වෙනත් කවුරුවත් මේ ලෝකේ නෑ. මුල් කාලේ තිබුණු ලෙන්ගතුකම නොදෑනීම වුනත් ආදරයකට පෙරලිලා තිබුණා. මං දන්නවා අපේ තාත්තා මේ සම්බන්ධයට අකමැති වුනා කියලා. ඒ හින්දම තමයි ඔයාලා මේ විදිහට මෙහෙන් යන්න ඇත්තෙත්. ඒ කොහොම උනත් මම කොහොම හරි ගෙදර කැමැත්ත අරගන්න මම උත්සහා කරමි. බැරි වෙලාවත් ඒ උත්සහය අසාර්ථක උනත් මම ඔයාව කවදාවත් අත නොහරින බව පොරොන්දුවක් හැටියට කියනවා. ඒ එක්කම පුළුවන්කමක් ලැබුණු වහාම මම ඔයාව බලන්න එනවා.

මීට ඔයාට සැමදා ආදරේ

විමලේ.

හයවන පරිච්ඡේදය:

මේ විදිහට තවත් මාස කිහිපයක් ගෙවිලා ගියා. දෙන්නා අතරේ ලිපි කිහිපයකුත් හුවමාරු උනා. මේ අතරේ ස්වර්ණලාගේ ඉඩමේ ඔප්පුව අල්මාරියක් ඇතුලේ තිබිලා දැක්ක දවසේ තමයි වැටහුනේ මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ තමන්ගේ තාත්තා කියලා.

දැන් විමලසේනගේ කලවයසත් සම්පූර්ණ නිසා ගැලපෙන තැනකින් කටයුත්තක් කරලා දෙන්න කියාලා නිතරම තාත්තා අම්මත් එක්ක කතා කරන බව විමලසේනට ඇහුනා. දැන්ම කසාදයක් කරගන්න අවශ්‍ය නෑ කියලා විමලසේන අම්මට කිව්වේ තාත්තාටත් ඇහෙන විදිහටයි. "ඇයි තාමත් අර කෙල්ල ගැනද කල්පනාව ඒවානම් මේ තාත්තා ඉන්නකම් කරන්න වෙන්නේ නෑ. බැරි වෙලාවත් අපිට විරුද්ධ වෙලා හිතුවක්කාරකමක් කළොත් උඹට මගෙන් සතයක්වත් ලැබෙන්නේනම් නෑ කියලා හිතාගත්තොත් හොඳයි." පීටර් සැර දාලායි කිව්වේ. විමලසේන නිශ්ශබ්දවම තමන්ගේ කාමරේට වැදිලා ඇදේ ඇලවුනා. ඒත් නින්ද අහලකවත් නෑ. මේ විදිහට දවස් දෙකක්ම ගෙවිලා ගියා. තුන්වන දවසේ අම්මයි තාත්තායි දෙන්නා නිදා ගත්තු වෙලාවේ විමලසේන හෙමිහිට කාමරෙන් එළියට ඇවිත් ඉස්සරහා දොරත් ඇරගෙන මිදුළට බැස්සා. පයින්ම නගරය දිහාවට ඇවිද ගිය විමලේ ඊට පස්සේ ඇතුළුවුනේ බස් නැවතුම්පලටයි.

පසුවදා දහවල් වෙද්දි විමලසේන හිටියේ මීගමුවේ ස්වර්ණලාගේ මාමාගේ ගෙදර. සිද්දවුනු හැම දෙයක්ම ගෙදර කට්ටියට කිව්වේ ආපහු තමන්ගේ ගෙදරනම් යන්නේ නෑ කියලා. ස්වර්ණටනම් ඉහේ මලක් පිපුනා වගේ පුදුම සතුටක්.

සතියකට විතර පස්සේ ඔස්ටින්  මාමා විමලසේනව හොයාගෙන මීගමුවට ආවා.  "පුතේ තාත්තා කිව්වා ඔයාට ගෙදර එන්න කියලා හැබැයි ගෑණු ළමයාව අත ඇරලා. එහෙම නැතිවුනොත් දේපලවලින් සතයක්වත් දෙන්නේ නෑ කිව්වා" විමලසේන තනිවුනු වෙලාවක් බලලයි මමා එහෙම කිව්වේ. "ඒ විතරක් නෙමේ පුතා අකිකරුවුනොත් මැරුණයි කියලා හිතාගෙන දේපල ඔක්කොම පංසලකට හරි වැඩිහිටි නිවාසෙකට හරි ලියලා දෙනවා කියලත් කිව්වා. පුතා දන්නවනේ තාත්තාගේ හැටි යමක් කිව්වොත් ඒක කරලම තමයි පස්ස බලන්නේ. මම පුතාට බලකරන්නේ නෑ පුතා ඉගෙනගත්තු ළමයෙක් හින්දා හොඳයි කියලා හිතෙන දෙයක් කරන්නෙ. මේවා ගැන හිතලා පුතාගේ අම්මත් ඉන්නෙත් දුකෙන්" මාමා එහෙම කිව්වම විමලසේනගේ ඇහැ කඳුලකින් බරවුනා. "මම ස්වර්ණට ආදරෙයි. මං කොහොමද එයාව අමතක කරන්නේ? ඒ හින්දා ස්වර්ණව බඳින්න මම තීරණය කරලා ඉවරයි" විමලසේන ස්ථීර හඬකින් කිව්වේය.

මාමා ඇවිත් ගියාට පස්සේ ස්වර්ණගේ මාමා කිව්වේ විමලසේන තවදුරටත් මෙහේ ඉන්න එක නුවණට හුරු නැති නිසා බදුල්ලේ ඉන්න ඥාති පුතෙක් ගාවට යවමු කියලයි. හැමෝම ඒ අදහසට කැමතිවූ හ. ස්වර්ණව දාලා දුරකට යන්න අකමැතිවුනත් විමලසේනත් ඒ අදහසට එකඟවුනේය.

තවත් දවස් දෙකකට පස්සේ විමලසේන මාමාත් එක්ක බදුල්ලේ යන්න පිටත්වුනේය. පාන්දරින්ම පිටත්වුනු දෙදෙනා හවස් වෙද්දි හිටියේ බදුල්ලෙන් ටිකක් දුරට වෙන්න තිබුනු ගමක පදිංචිවෙලා හිටපු සිරිසේනලාගේ ගෙදර. මේක ගෙදරක් කිව්වට පුංචි පැලක්. සිරිසේනගේ රස්සාව වුනේ ගොවිතැන අක්කර දෙකක විතර බද්දට ගත්තු ගොවිපලක් බිරිඳත් එක්ක එකතුවෙලා වගා කරපු සිරිසේන ඒ ගොවිපලේම පැලක් හදාගෙනයි ජීවත්වුනේ. සිරිසේනට වෙනම අක්කර භාගයක විතර ඉඩමක් ගොවිපලට යන පාරේ ප්‍රධාන පාරට කිට්ටුවෙන් තිබුණත් ගොවිතැන් බලාගෙන කරගන්න එක පහසුවක් හින්දා තමයි මේ පැල් කෑල්ලට පදිංචියට ආවේ. මේ පැලට තිබුනේ එකම එක කාමරයයි. ඊට අමතරව ඉස්තෝප්පු කෑල්ලයි. කුස්සිය වෙනම හදලා තිබුනා. සිරිසේනගේ බිරිඳ කමණි ආගන්තුක සත්කාරයට ලැදි හොඳ ගෘහණියක්. තව ඒ දෙන්නට හිටියා අවුරුදු එක හමාරක විතර වයස පුතෙක් එයාගේ නම ජගත්. සිරිසේනගේ ගොවිපලේ අල, ළූණු, කැරට්, බීට්, රාබු, ගෝවා වගේ දේවල් තමයි වගා කරලා තිබුනේ. හරි හරියට මහන්සි වෙලා මේ දෙන්නා වැඩ කෙරුවත් ලොකු දියුණුවක් නැති බව තමයි පේන්න තිබුනේ. කොහොමවුනත් ගොවිපලේ වැඩට තවත් පිරිමියෙක් ඉන්න එක සිරිසේනට ලොකු හයියක් කියලා තමයි කිව්වේ.

කොහොමින් කොහොම හරි මාස කිහිපයක් ගෙවිලා ගියා. මේ අතර කාලයේ විමලසේනයි ස්වර්ණයි දෙන්නා ලිපි කිහිපයක් හුවමාරු කරගනිමින්  දුක සැප බෙදාගත් හ. දැන් දැන් විමලසේනට හිතෙන්න ගත්තා ලගපාතකින් ගෙයක්වත් කුළියට ගන්න පුළුවන් වුනානම් ස්වර්ණවත් කැන්දගෙන එන්න පුළුවන් කියලා. එහෙම හිතපු විමලසේන ඒ ගැන සිරිසේන අයියටත් කිවුවා. හැම සෙනසුරාදාම අස්වැන්න අරගෙන නගරයට යන එක සිරිසේනගේ පුරුද්දක්. එහෙම ගිය එක දවසක සිරිසේන නිවසට ආවේ සුභ ආරංචියකුත් එක්ක. ගොවිපලේ ඉදන් කිලෝ මීටර් දෙකක් විතර දුර මහ පාරකට ආසන්න ගෙයක් වසර දෙකක් සඳහා කුළියට දෙන්න තියෙනවයි කියන ආරංචිය. ඒක අහන්න ලැබුනම විමලසේනගේ ඉහේ මලක් පිපුණු ගානයි.

පහුවදාම සිරිසේනත් එක්ක විමලසේන ඒක බලන්න ගියා. ඒක ටිකක් විශාල ගෙයක් බව බැලූ බැල්මටම පේන්න තිබුනා. කාමර තුනක්, සාලයක්, ඉස්තෝප්පුවක්, නාන කාමරයක්, කුස්සියක් තියෙන අංග සම්පූර්ණ නිවාසයක්. මේකේ අයිති කට්ටිය අවුරුදු දෙකකට විදේශගත වෙන්න තීරණය කරපු නිසාත් සිරිසේන ගැන හොඳින් හඳුනන අයවලුන් නිසාත් අඩු මුදලකට දෙන්න කැමති වෙලා තිබුනේ.

ආපහු ගෙදර යන ගමන් දෙන්නා මේ ගැන කථා කෙරුවා. ඉඩකඩත් තියෙන නිසා සිරිසේනගේ පවුලේ අයත් මේ ගෙදරට එනවනම් හොඳයි කියලා තමයි විමලසේන කිව්වේ. ඒ විතරක් නෙමේ ස්වර්ණත් ආපුවහම කමණි ඉන්න එක එයාටත් පාළුවක් නැතුව, ආරක්ෂාවත් ඇතිව ඉන්න පුළුවන් කියලා තමයි වැඩිදුරටත් කිව්වේ. නිවසට ඇවිල්ලා කමණිත් එක්කලත් මේ ගැන කථාකරපුවහම කමණිත් බොහෝම කැමතිවුනා ඒ අදහසට. එදාම රෑ විමලසේන ස්වර්ණට ලිපියක් ලිව්වා.

සදාදර ස්වර්ණා වෙත ලියමි.......

ඔයාලා හැමෝම සුවෙන් ඇතැයි සිතමි. ඔබ දැකගන්නට නොහැකිවීමේ සෝකය හැරෙන්නට මාද සුවෙනි. නිරතුරුව මා දකින්නේ ඔබ සමග එකම කැදැල්ලක කූඩුවීමේ සිහිනයයි. පසුගිය කාලය පුරාවටම මම ඒ සුභ සිහිනය සැබෑකිරීමේ අභිලාෂය පෙරදැරිව කටයුතු කලෙමි.

ඊළග වාරයේ ඔබ දැකීමට මා පැමිණෙනුයේ නැවත ඔබගෙන් දුරස් නොවනු පිණිස ඔබ මාගේම කරගැනීමේ බලාපොරොත්තුවත් සිත්හී දරාගනිමිනි. එයට ඔබ සුදානම් බව මා දනිමි.

ඔයාලාගේ මාමාද සමග කථාකර ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකසා ගන්නා මෙන් වැඩිදුරටත් ඔබගෙන් ඉල්ලමි.

මා නැවත පැමිණිවිට වැඩිවිස්තර ඔබට දන්වනු කැමැත්තෙමි.

ඉතිං ඔයාට බුදුසරණයි!

                                                           මේ සදා නොවෙනස්

                                                           ඔබේම ආදර විමලේ

 

තවත් සති දෙකක් ගෙවී ගියේ ය. ඒ කාලය තුල සිදුවූ විශේෂ සිද්ධින් වූයේ ඔවුන් කුලී නිවසට පදිංචියට යෑමත් විමලසේන ස්වර්ණා දැකගැනීමට පමණක් නොව ඇය කැදවාගෙන ඒම සඳහාත් සිරිසේනද සමගින් මීගමුවට පැමිණිමත්ය. පෙරුම් පුරා ආ ආදරයක් මල්පල ගන්නා දා පෙම්වත් සිත් අසිරිමත්වන බව මා අමුතුවෙන් කිවයුතු නැත.

විවාහ ලියාපදිංචිය ඉතා චාම් එකක්විය. නිවැසියන්ද ස්වර්ණාගේ මාමාගේ හිතවතුන් පිරිසක්ද සහභාගීවු විවාහ මංගල්‍යය මාමාගේ නිවසේම පැවතුනි.

එදා දවස එම නිවසේම ගතකල නව යුවල පසුවදා උදෑසනම නැවතත් බදුල්ල බලා පිටත්විය.

යාන්තමට ගෙවී ගියේ මාස හතරක් පමණි ස්වර්ණා වෙතින් මවක්වන ළකුණු  පහලවිය. නිවසේ සතුට දෙගුණ කරමින් කමණිද ගැබ්බරවී ඇතැයි සිරීසේන විමලසේනට දන්වා සිටියේය.

එකම දිනක එක නිවසක සුභ ආරංචි දෙකක් සතුටු නොවන්නේ කවුද? එනිසාම එදා රාත්‍රීය එහි උත්සවයක සිරිගත්තේ ය. මිදුල මැද ගිනිමැලයක් ගසා ඒ අසල එලන ලද පැදුරු මත වාඩිවූ නිවැසියන් සතුටු සාමිචියේ යෙදුන හ. රාත්‍රී ආහාරයද එතනදීම ලබාගත්තේ ය.

මෙලෙස තවත් මාස කිහිපයක් ඇවෑමෙන් ස්වර්ණා පුංචි දියණියක ලැබුවාය. එතැන් සිට ගතවුනේ දින දෙකකි කමණිද තමන්ගේ දෙවැනි දරුවා ලෙස දියණියක් ලැබුවාය. කිරි සිනා නඟන පුංචි මල් කැකුළු දෙකක් නිවස ආලෝකමත් කර තිබුනි. නම් තබනදා විමලසේනගේ දියණියගේ වේලාපත්කඩය බැලූ අසල විහාරයේ ස්වාමින් වහන්සේ "දවසක මව්පියන්ගේ ලෝකය තනන්නී මේ දැරිවියයි. මේ දරුවාගේ පින් මහිමයෙන් මතු දිනයක සිටු මාළිග පහලවනු ඇත" යනුවෙන් පැවසූ උන්වහන්සේ පියාගේත්, මවගේත් නම් වල මුලකුරු සමඟ ඉහත ගුණයන්ද ගලපා "විශ්වනී" යන නාමය ඇයට ඉතා සුදුසුයැයි වැඩිදුරටත් පැවසූ හ. එම දිනයේම සිරිසේනගේ දියණියටද නම් තැබූ අතර ඇයට "ශෂිකා"  යන නම ගැලපෙන බව හිමියන් පැවසූ හ.

හත්වන පරිච්ඡේදය:

ඉතිං මා හිතවත් පාඨකයනි,

මේ කථාවේ ප්‍රධාන චරිතය "විශ්වනී" නම් මේ අළුත උපන් දැරිවියයි. ඇය වටා ගෙතෙන මේ අපූර්ව කථාව කියවීමටත් ඇය කවුදැයි ඔබට හදුනා ගැනීම සඳහාත් ඉහතින් දක්වා ඇති සියළු සිද්ධීන් පූර්විකාවක්ම පමණි.

ඉතිං ඔබ ඉහත චරිතාංග කියවීමෙන් පසු ඇයගේ කථාව කියවීමටත් එකතුවනු ඇතැයි මාගේ විශ්වාසයයි.

කවුරුන් කෙසේ කීවද, වාසනාව මොන තරම් ප්‍රභලවුවද සතුට සැමදා එක ලෙස නොරැදේ. එය සත්‍යයක්වූවා සේම ඔවුන්ගේ ජීවිත තුලටද දුක, කඳුළ එබිකම්කල වාර අනන්තය. එය මිනිස් ජීවිතවලට පොදුවූ දහමකි. එනයින් බලන කල අව්, වැසි, සුළං සමග පොර බදන විමලසේනලාගේ, සිරිසේනලාගේ ජීවිත වලටද වරිනි වර දුක් කදුළු ගලා ආවේය. නමුත් ඒ සියළු ගැහැට තමන්ම විඳිමින් තමන්ගේ දරුවන්ගේ ලෝකය සුන්දර කරන්නට මේ දෙමව්පියන් මහත් වෙර වෑයම් දැරු හ.

පවුල් දෙකක් වුවද ඔවුන් එක පවුලක් බඳුය. සාමාන්‍යයෙන් කාන්තාවන් දෙදෙනෙකු එක තැනක දිගු කාලයක් රැදෙනවිට ගැටුම් ඇතිවීම අනිවාර්යෙන්ම සිදුවන දෙයක් බව මම අසා ඇත්තෙමි. නමුත් ස්වර්ණාත, කමණිත් අතර මේ කාලය තුල පුංචිම හෝ සිත රිදවීමක් වූවායැයි කිසිවෙකුටත් කිව නොහැකි ය. එකිනෙකාගේ දුක සැප බෙදා ගනිමින් මේ අය ගතකලේ සංසාරගත බැඳීමක ප්‍රතිපලයක් නිසාදෝ විටෙක මට සිතේ. ඒ තරමටම ඔවුන් ලෙන්ගතුය.

මේ අතර දිනෙන් දින ගෙවෙමින් කුලි නිවසේ වසර දෙකක කාලය නිමා වීමටත් ආසන්නව පැවති හෙයින් කුමක් කල යුතුදැයි ඔවුන් දීර්ඝ ලෙස සාකච්ඡා කල අතර අවසානයේදි සිරිසේන ඔවුන්ගේ ඉඩමේ නිවසක් සකස් කිරීමටත් ගොවිපලේ පැල අළුත්වැඩියා කර විමලසේනලා එහි පදිංචියට යෑමත් සුදුසු බවට එකඟවූ හ. නමුත් ගැටළුවකට ඇත්තේ මේ සඳහා වියදම් කිරීමට තරම් මේ අය ළග මුදලක් නොමැතිවීමය. එයට පිළියමක් ලෙස සිරිසේනගේ ඉඩම උගසට තබා බැංකු ණයක් ලබා ගැනීමට ඔහු කටයුතු යෙදුවේය.

මේ අතර සතියකට වරක් සෙනසුරාදා අස්වැන්න රැගෙන නගරයට යන සිරිසේන එවන් එක් දිනයක නිවසට ආවේ සුභ ආරංචියක්ද සමගිනි. නගරයේ අළුතින් විවෘත කරන රේස් බුකියක තුණ්ඩු ලියන්නෙකු ලෙස රැකියාවක් එහි අයිතිකරු විසින් තමන්ට ලබාදීමට එකඟවූ බවය. එය දැනගැනීමෙන් ඔවුන්ට යම් සහනයක් සිතට දැණුනේ කරදරයකින් තොරව බැංකු ණය වාරික මුදල ගෙවීමට මේ නිසා හැකිවෙන බව වැටහීමෙනි.

කුලී නිවසේ වසර දෙක ගතවීමට තවත් ඇත්තේ මාස දෙකක කාලයක් පමණි. නිවසේ හිමිකරු ලිපියක් මගින් දන්වා තිබුනේ තවත් වසරක කාලයක් ඔවුන් විදේශගතව සිටීමට අදහස් කර ඇති නිසා අවශ්‍යනම් එම වසරක කාලය සඳහාත් ඔවුන්ට නිවසේ පදිංචිවී සිටිමට හැකි බවයි. එයනම් භාග්‍යයකි. නිවෙස්වල කටයුතු නිම නොවී තිබීම නිසා කුමක් කල යුතුදැයි ඒවනවිටත් ගැටළුවකට මුහුණ දී සිටි ඔවුන්ට මෙය මහත් අස්වැසිල්ලකි. ඒ නිසා මේ ලද අවස්ථාව ප්‍රයෝජනයට ගෙන නිවෙස් දෙකේ ඉඳිකිරීම් කටයුතු වඩා හොඳින් අවසන් කර ගැනීමට සිරිසේනත්, විමලසේනත් යුහුසුළුවිය.

කෙමෙන් කෙමෙන් ඒ අවුරුද්දත් ගෙවී යන්නට විය. ඒ අතර දැරියන් දෙදෙනා පෙරලෙමින්, බඩගාමින්, වැටි වැටි අවිදිමින්, තතන තතනා කතා කරමින් වැඩෙන්නට විය. සැබැවින්ම ඔවුන් සැබෑ සුන්දර දැරියන් වූහ.

එක්ව විසූ කාලය නිමවෙමින් ඔවුනොවුන් සමුගන්නා දවස උදාවිය. වැඩියෙන්ම දුක්වූයේ ළමුන් තිදෙනාද? එසේත් නැත්නම් වැඩිහිටියන් හතර දෙනාදැයි කාටනම් කිව හැකිද? තාවකාලික දුරස්වීමක් වුවද වෙන්වීම යනු සිත් කම්පා කරවන බව පරම සත්‍යයකි. එබැවින් ඔවුන්ට දැනෙනුයේ එක පවුලක් දෙකඩවූවා වැනි හැඟීමක් බව මා දනිමි.

නිවෙස් දෙකක් සඳහා දුරස්වුවද ඔවුන්ගේ බැඳීම දුරස් නොවනු පිණිස සෑම සෙනසුරාදා දිනයකම එක නිවසක එක්ව වසන්නට ඔවුන් කතිකා කර ගත් හ. මේ අනුව එක් සෙනසුරාදාවක ගොවිපලේත් ඊළග සෙනසුරාදා සිරිසේනගේ නිවසේත් වශයෙන් ඔවුන් එදින හවස් වරුවේ සිට පසුදා එනම් ඉරිදා උදෑසන දක්වා එක්ව කාලය ගත කල හ.

 

අටවන පරිච්ඡේදය:

තවත් මිතුරු මිතුරියන් රැසක් සිටියත් පෙර පාසැල තුලත් ඉන් පිටතදීත් අනෙකා වෙනුවෙන් පෙනිසිටින ගුණ ඇති ශෂිකා විශ්වනීගේ හොඳම හොඳ මිතුරිය වුවාය. ඔවුන් කොතරම් හොඳ මිතුරියන් වුවත් කුඩාකල සිටම විශ්වනී නිහඬ ලැජ්ජාශීලි දැරියක් වූ අතර ශෂිකානම් ඊට හාත්පසින් වෙනස් නිතර දොඩමළුවන, දඟකාර, ඕනෑම දෙයක් සඳහා පැකිළිමකින් තොරව ඉදිරිපත්වන දැරියක වූවාය.

පෙර පාසැලේ මෙලෙස ඉගෙනගන්නා අතර වාරයේ සීයා ආච්චි ගැන ගුරුතුමිය ළමුන්ගෙන් ඇසුවිට විශ්වනී ඒ පිළිබදව කිසිවක්ම දැන සිටියේ නැත. එම නිසාම එදින නිවසට ආ විගස මව ආසන්නයට ගිය ඇය "සමහර යාළුවන්ට සියලා ආච්චිලා දෙන්නා ගානේ ඉන්නවා මට එක්කෙනෙක්වත් නෑ. ඒ ඇයි අම්මේ?"  ඒ ගැන ඇයගෙන් විමසුවාය. මවගේ පිලිතුර වූයේ ඔවුන් මියගොස් ඇතැයි යන්නය. "හතර දෙනාම මැරිලද අම්මේ?"  විශ්වනී පෙරලා ඇසුවිට ස්වර්ණාට කට උත්තර නැතිවිය. දරුවාට බොරුවක් කියා රවටන්නද සිතක් නැත. ඇත්ත කියූ විට තව තවත් ප්‍රශ්ණ අසමින් තමන් දැඩි අපහසුතාවයකට පත්වනු නොඅනුමානය. එබැවින් පියා නිවසට පැමිණිවිට ඔහුගෙන් ඒ පිළිබදව අසා දැනගන්නැයි දියණියට කියූ ඇය වහාම එතැනින් නික්ම ගියාය.

එදා සවස පියා පැමිණ ඇගපත සොදා ගෙන රාත්‍රී ආහාරය පිලියෙල වනතෙක් එළිමහනේ ඇති බංකුවක් මත හිඳ සිටියදී ඒ ආසන්නයට ගිය දැරිය සීයා ආච්චි ගැන ප්‍රශ්ණය පියා හමුවේ තැබුවාය. ඊට මද වෙලාවකට පෙර විමලසේනට ස්වර්ණා විසින් මේ පිළිබදව දන්වා සිටි බැවින් කිසිත් කලබලයකින් තොරවම "අම්මගේ පැත්තේ සීයයි ආච්චියි දෙන්නාම අලියෙක් ගහලා මැරිලනේ පුතේ ඒත් මගේ අම්මායි තාත්තායි දෙන්නාම ජීවතුන් අතර ඉන්නවා. අම්මත් එක්කලා තරහා උනා ඒ හින්දා මම එයාලා  එක්ක කථා කරන්නේ නෑ."

"ඇයි තාත්තේ එයාලා අම්මත් එක්ක තරහා. එයාලා එච්චර නරක අයද?"    "නෑ පුතේ එයාලා නරක අය නෙමේ. අම්මා හොඳයි කියලා එයාලා දන්නේ නෑනේ" "ඉතිං තාත්තාට තිබුණනේ අම්මා හොඳයි කියලා කියන්න" "ඒකනේ පුතේ ඒ දවස්වල මට ඕක තේරුනේ නෑනේ. ඉතිං මමත් කෙරුවේ එකපාරටම එයාලව අත ඇරලා ආපු එක" "ඉතිං අපි යමුකෝ තාත්තේ සීයාවයි ආච්චිවයි බලන්න" "හරි එහෙමනම් තාත්තට වැඩ අඩු වෙච්චි දවසක අපි යමුකෝ පුතාගේ සීයා ආච්චි බලන්න" "හරි ෂෝක් තාත්තේ"

මේ දියණියගේත් පියාගේත් දෙබසෙන් පසු එදින රාත්‍රියේ දැරිය නින්දට ගිය පසු විමලසේන ස්වර්ණාත් සමග සාකච්ඡා කොට ගත් තීරණයකට අනුව ඔහු ඔහුගේ මවට ලිපියක් ලිව්වේය. එහි තමන් ස්වර්ණා සමග සතුටින් සිටින බවත්, තමන් දැන් ආදර පියෙකු බවත්, කැදැල්ල සරසන සුරතල් දියණියක් සිටින බවත් වැඩිදුරටත්  තමන් මවත් පියාත් දැක ගැනීමට කැමැත්තෙන් පසුවූවත් තවමත් පියා අමනාපයෙන් සිටීදැයි නොදන්නා බැවින් පැමිණිම කල් තබමින් සිටි බව ලිව්වේය. පසුදා උදෑසනම සිරිසේන හමුවී ඔහු වෙත ලිපිය ලබා දුන්නේ කවරයක බහා එහි මවගේ නම ලිපිනය ලියා තැපැල් කරන්නැයි ඉල්ලුවේය.

දින සති මාස ගෙවී ගියත් ලිපියට කිසිදු පිලිතුරක් නොලද හෙයින් තවමත් ඔවුන් තමන් ගැන අමනාපයෙන් පසුවන බව දැනගත් විමලසේන නැවත ගෙදර යෑම පිළිබද අදහස සම්පූර්ණයෙන්ම පසෙකට දැමුවේය. නමුත් මේ කිසිවක් දියණියට නොපවසන්නැයි ස්වර්ණාගෙන් ඉල්ලා සිටියේය. එයින් පසු සීයා ආච්චි ගැන දියණිය විමසනවිට කුමක් හෝ පවසමින් එය මගහැර යාමට විමලසේන කටයුතු කලේය.

පෙර පාසලෙන් ගෙදර එන මේ පුංචි දැරියට පියා ගොවිපලේ වැඩකරන තැනට ගොස් ඔහු සමග ගත කරන්නට තිබේනම් එය තරම් ආශ්වාදජනක දෙයක් නොමැති තරම්ය. සැබැවින්ම ඒ ගොවිපලේ එළවළු පාත්ති දිගේ ඇවිද යාමටත්, වත්තට එන කුරුල්ලන්, සමනලයන් දෙස බලා ඉදින්නටත් ඇති ආසාව නිසාය. පියා පාත්තිවල පැල සිටුවන විට ඇයද ඔහුට උදව් කලා ය. " මොනවද මගේ විශි පැටියා කරන්නේ?  " පියා ඇයට ආදරයෙන් අමතන වදන් වලටද ඈ ප්‍රිය කලා ය. දියණිය තමන් අසල ගැවසෙන විට විමලසේනගේ මහන්සියද උඩු හුළඟට හසුව ඉවත ගියා වැනි හැඟීමකින් පිරී යන්නේ ය. දැරිය ගොවිපලේ සිටිනවිට මවද නිතරම පැමිණ විමසිලිමත් වන්නේ ඇය පියාගේ වැඩවලට බදා කරන්නේදැයි යන සිතුවිලිද සහිතවය. එවන් අවස්ථාද නැතුවා නොවේ, එවැනි මොහොතක ඇයව නැවත් නිවෙස වෙත රැගෙන යාමට ගන්නා උත්සහය මහත් අසිරු කරුණක් බව ස්වර්ණා දැන සිටියා ය. ඒ නිසාම ඒ ආසන්නයේ රැදෙමින් විමලසේනට උදව් කරමින් හිදින්නට ස්වර්ණාටද සිදූවු වාර අනන්තය. එලෙස රැඳී සිට යාප්පුවෙන් දැරියව නිවෙසට රැගෙන යන්නට ස්වර්ණා දක්ෂවුවා ය.

නමවන පරිච්ඡේදය:

විශ්වනි පාසැල් යන්නට පටන් ගත්විට සැමදාම උදේ ඇය සුදානම් කර නිවසෙන් පිටත්ව යන විමලසේන සිරිසේනගේ පුතා හා දුව සමග තම දියණියද පාසැලට රැගෙන යෑමට සිරිසේන වෙත බාර දී නැවතත් ගොවිපල බලා පිටත්ව යාම දින චරියාවේ කොටසක් බවට පත්කර ගත්තේ ය. වේලාසනම දිවා ආහාරය සකස් කරන කමණි පාසැල අසලට ගොස් පුතුණුවන්ව හා දැරියන් දෙදෙනාවද රැගෙන නිවස එන අතර ස්වර්ණා සිරිසේනගේ නිවස අසලදි දියණියව රැගෙන නිවසට පැමිණීමද නිරන්තරයෙන්ම පැවරුණු රාජකාරියක් කොට ගත්තාය.

මේ වනවිට ජගත් තුන්වන වසරේ ඉගෙනගනිමින් සිටියේය. ශෂිකා දඟකාර, කටකාර දැරියක වූ බැවින් ඕනෑම දෙයක් සඳහා නොපැකිලිව ඉදිරිපත් වීමට පසුබට නොවීය. ඒ නිසාම ඇය ක්‍රීඩාවන් සඳහාද දක්ෂ දරුවෙකු වුවේය. ඊට හාතපසින් වෙනස් දරුවෙකු වූ විශ්වනී බොහෝවිට සිටියේ නිහඬ පිලිවෙතක් අනුගමනය කරමිනි. නිතරම කල්පනාබරිතව හා දකින දේ පිළිබඳව සිහින දකිමින් අතරමංවන ගතිගුණයෙන් යුක්තවීම නිසාම ඇයට පාඩම් වැඩ පවා මගහැරුණු වාර අනන්තය. නමුත් පියකරු හා හුරුබුහුටි කමින් යුක්තවූ නිසාම ගුරුවරුන්ගේ ආදර ගෞරවය දිනා ගැනීමට ඈ සමත්වුවේය.

පාසැල් එන අතරවාරයේදි පවා දකින දේ ගැන නිමක් නැති කල්පනාවන් නිසා පියාගේ මුවින් "ඉක්මන් කරලා යං පුතේ පරක්කු වෙනවා" යන්න නිරතුරුවම අහන්නට ලැබෙන වදන් පෙලකි. උදෑසන තුරු මුදුන් අතරින් එබී බලන ඉර මේ බලන්නේ තමන් දිහා නොවේදැයි විටෙක ඇය සිතුවේය. කුරුල්ලන් ගී ගයන්නේ තමන් වෙනුවෙනි. මල් පිපෙන්නේද ඒවා පිස සුළං හමන්නේද ඇය වෙනුවෙන්ම පමණි. කඳු මුදුනේ දැවටෙන මීදුම පවා ඈ සිහින අතර අතරමං කරන්නට සමත්වී තිබේ. පාසැලේදි පවා කවුලුවෙන් එපිට ලෝකය තුල සැරිසරන ඇය සිරුර පමණක් පන්ති කාමරය තුල රදවා ඇති බව බොහෝ අවස්තාවල ගුරුවරුන්ටද වැටහී ගිය කාරණාවකි. එසේවුවද අධ්‍යාපනයේදීද කැපිපෙනෙන දක්ෂතා සහිත දරුවෙකුද වූ නිසාම ගුරුවරුන්ගේ සිත්තුල ඇය ගැන තිබූ විශ්වාසය අල්ප මාත්‍රයකින්වත් අඩුවක් නොවීය.

විශ්වනීත්, ශෂිකාත් ඉගෙන ගත්තේ එකම පංතියකය. සෑම වාර විභාගයකින්ම ශෂිකා පන්තියේ ප්‍රථමයා වූවේය. විශ්වනී රැඳුනේ මුල් පස් දෙනා අතරය ඒ බොහෝ විට හතරවැනියා හෝ පස්වැනියා ලෙසිනි. සෑම වසරක් අවසානයේ ප්‍රගති වාර්ථා ලබාදෙන උත්සවයේදි දක්ෂතා සහිත දරුවන්ගේ නාම ලේඛණයට ඇගේ නමද ඇතුලත්වී ඇති නිසා ගුරුවරුන්ගේ ඇඟයීමටද පාත්‍රවන්නට ඇයට පුළුවන් වූවේය.

මෙලෙස දක්ෂතා දක්වමින් වසර පහක් ගෙවා දැමූ පසු එළඹියේ පළමු කඩඉම් විභාගය වන පහ වසර ශිෂ්‍යත්වයට මුහුණ දිමට සිදුවන කාලයයි. මේ කාලයේ පාසැල නිමාවීමෙන් පසුද ඔවුන්ට සවස පංති සඳහාද සහභාගීවීමට සිදුවූ හ. ඒ නිසාම උදෑසනින් නිවසෙන් පිටවන දරුවන් නැවත නිවසට පැමිණෙන්නේ ඉරගල මුදුණෙන් පහලට බැස්සායින් පසුවය. කෙළි සෙල්ලමට කාලයත්, අවට සිරි නැරඹීමේ කාලයත් ඔවුන්ගෙන් දුරස්ව ඇත. දෙමව්පියන්ගේ සතුටට අවස්තාව දෙමින් ඔවුන් ජයග්‍රහණ පසුපස හඹා යන්නන් බවට නිසැකයෙන්ම පත්වී ඇත. දැන් දැන් උනුන් අතරද ඇත්තේ තරඟයකි. අනෙකා පරදා තමන් ජයගත යුතුයැයි යන ආත්මාර්ථකාමීත්වය කුඩාකලදීම සිත් තුලට කාවද්දන දෙයක් ලෙස මා මෙය අර්ථ දක්වමී.

ඒ කුමක්වුවද ඒ වසරේ මාස අටකට පසු ඔවුන්ගේ ළමා ලෝකය ඔවුන් වෙත නැවත පියඹා ආවේය. ඒ ශිෂ්‍යත්ව විභාගය නිමවීමෙන් පසුවය. ඉන් පසු එළඹි නිවාඩු සමය අතහැරුණු සිතුවිලි සයුරේ කිමිදෙන්නට හැකිවීම විශ්වනීටනම් මහත් අස්වැසිල්ලක්ම වූවේය.

පාසල් නිවාඩු කාලයක් වුවද විභාග ප්‍රතිපල නිකුත්වූදා පාසැල් භූමිය නැවතත් උද්යෝගයකින් පිරුණු තැනක් බවට පත්විය. උදෑසනම පාසල වෙත පැමිණි සිසු දරුවන් ඔවුනොවුන් සමග සුහඳ කතාබහේ යෙදිමින්ද, පිටිය පුරා කෙලි සෙල්ලමින් දුව යමින්ද කාලයක් තමන්ගෙන් දුරස්වූ සැහැල්ලුව විඳගනිමින් සිටිය හ. මහත් වෙහෙසකින් තම දරුවන් අභියෝගයට පෙලගැස්වූ ගුරුවරුහුද එවැනිම සැහැල්ලුවකින් සිටි බව බැලු බැල්මටම සිතා ගත හැකි ය.

ගුරුවරුන්ගේ දැණුම්දීමකට අනුව පෙරවරු 10ට පමණ සියළුම සිසු දරුවන් ක්‍රීඩා පිටියේ පන්ති වශයෙන් පෙල ගැසි සිටිය හ.. එදින විදුහල්පතිතුමා පුහුණු සැසිවාරයක් සඳහා සහභාගීව සිටින බැවින් රැස්වීම මෙහෙයවන ලද්දේ උප විදුහල්පතිතුමා විසිනි. පාසලේ ශිෂ්‍යත්ව පන්ති තුනෙන්ම දරුවන් 20 දෙනෙකු කඩඉම් ළකුණු සීමාව පසුකර ඇති බවත්, 90%ක් පමණ විභාගයකදි සමත්විය හැකි ළකුණු ලබාගෙන ඇති බවත් දැණුම් දුන් උප විදුහල්පතිතුමා ඒ නිසා සියළු දරුවන් දක්ෂයින්සේ සලකන බවත් කීවේය.

ඉන් අනතුරුව ළකුණු ලබාගෙන ඇති පිලිවෙල අනුව දරුවන්ගේ නම් කියවන බවත් සියළු දෙනාගේ ප්‍රසාදය ඔවුන් වෙත හිමිකර දෙනත් ලෙස ඉල්වූ එතුමා මුලින්ම ශෂිකාගේ නම සඳහන් කලේය. සියළු දෙනාගේ අත්පොලසන් නාදයෙන් පාසල් භූමිය ගිඟුම් දෙන්නට විය. පුදුමයකි ඊළග නම විශ්වනීගේ වූවාය. නැවතත් අත්පොලොසන් නාදය හඬ තැලීය. විශ්වනීගේ සිත පුදුමය පරදා ආඩම්බර හැඟිමකින් කිති කැව්වාය. ඉන් පසු උප විදුහල්පතිතුමා කියවූ එකදු නමක්වත් ඇයට ඇසුනේ නැත. පන්ති කාමරයේදි තමන්ට ඉදිරියේ සිටි බොහෝ පිරිසක් තමන් පසුකර ඇතැයි යන සිතුවිල්ල මොන තරම් ආශ්වාදජනකද? අවසානයේදි පාසලට ආඩම්බරය එක්කල සියළු දරුවන්ට ඔවුන්ගේ අනාගතයට සුභ පැතුම් එක්කල උප විදුහල්පතිතුමා මේ ප්‍රතිපලය ලබා ගැනීමට කැපවූ සියළු ගුරු භවතූන් වෙතද විදුහල්පතිතුමා වෙනුවෙන් සුභාෂිංශන එක්කරන බව පැවසුවේය.

දහවල් දොලහ පමණ වනවිට පැමිණ සිටි සියළුම දෙනා පාසැල් භූමියෙන් නික්ම ගිය අතර විශ්වනි සහ ශෂිකා කෙලින්ම ශෂිකාගේ පියා වැඩකරන බුකිය බලා පිටත්වූ හ.  බුකියේ දොරකඩ සිටින දැරියන් දෙදෙනා දුටු සිරිසේන අහන්නට ලැබෙන ආරංචිය සුභදායි බව ඉවෙන් මෙන් වටහා ගත්තේ ය. එසේ වුවද ඔවුන්ගේ මුවිනුත් එය අසා දැනගැනීමෙන් පසු මදක් එහි නැවති සිටින ලෙස දැරියන්ට දැන්වූ සිරිසේන බුකිය තුලට ගොස් අයිතිකරුටද මේ පිලිබද දන්වා වරුවක නිවාඩු ඉල්ලා සිටියේය. "නිවාඩු දාන්න ඕනා නෑ ගිහින් එන්න" යැයි පැවසු අයිතිකරු යම් මුදලක්ද ඔහුගේ අත මිට මෙලවූවේය.

කඩේකින් රස කැවිලි කිහිපයක් හා රට බීම බෝතලයක් මිළදි ගත් සිරිසේන දැරියන් සමග නිවෙස බලා පිටත්වූ හ. මුලින්ම සිරිසේනගේ ගෙදරට එන විටත් කමණි මග බලමින් උන්නේ ඔවුන් රැගෙන එන සුභ ආරංචිය දැනගැනීමේ නොතිත් අසාවන් පෙරදැරිවය. මවගේත් සහොදරයාගේත් උණුසුම් සුභ පැතුම් ශෂිකාටත්, විශ්වනීටත් එක ලෙස පුද කල පසු සිරිසේන විසින් ගෙනා කැවිලිවල රස විඳගන්නා අතරම බීම විදුරුවත් හනිකට ගිල දමා ශෂිකාගේ පියා, මව දෙපලගේ පාද වැඳිමෙන් පසු පිටත්වූයේ ඒ වනවිටත් තමන්ගේ මවත් පියාත් වෙත මේ සුභ ආරංචිය ලබා දීමේ අරමුණ සහිතවය.

විශ්වනි සමත්වන බව දෙමව්පියන් දැන සිටියත් මේ තරම් ඉහළ මට්ටමක් ලබාගනිවියැයි ඔවුන් කිසිදා විශ්වාස නොකල හ.  ඉතිං මෙයනම් අපූරුම දිනයකි. සැමරිය යුතුම දවසකි. ඒ නිසා ඔවුන් සවස් කාලය සිරිසේනගේ නිවසේදි සැමරුම් සාදයක් පැවැත්වීමට සැලසුම් කල හ.

ශිෂ්‍යත්වය ජයගැනීමෙන් පසු නගරයේ උසස් පාසලක් වෙත දැරියන් ඇතුලත් කිරීමට දෙමව්පියන්ගේ අදහස වුවත් දැරියන් දෙදෙනා එකහෙලාම කියා සිටියේ තමන් තවදුරටත් මේ පාසල වෙතම යායුතු බවයි. උසස් පෙල දක්වා පන්ති සහිතවීම නිසාත් දරුවන්ගේ කැමැත්තට ඉඩ ලබාදීම සඳහාත් දෙමව්පියන්ද ඔවුන්ගේ අදහසට එකඟතාවය පලකල හ.

දසවන පරිච්ඡේදය:

හයවන වසර වැඩිහිටියන්ගේ ලෝකයට ඇතුලත්වීම සඳහා ළමයින්ව දැණුමෙන් සන්නද්ධ කරන සමාරම්භක අවස්තාවයි. මේ දක්වා පැමිණි අධ්‍යාපනික ක්‍රමයන්ට පරිබාහිර අළුත් අළුත් විෂයන් හැදැරීමට ඔවුන්ට මෙහිදි සිදුවනු ඇත. ඉතිං ශෂිකා සහ විශ්වනී දෙදෙනා මේ වෙනස්කම් සඳහා සාර්ථකව මුහුණ දෙමින් ඔවුන්ගේ ඊළග අභියෝගයන් ජය ගැනීම සඳහා අවශ්‍ය පරිසරය සකසා ගත් හ.

මෙතෙක් පන්තියේ පස්දෙනා අතර සිටි විශ්වනී මෙතැන් සිට මුල් තිදෙනා අතර රැඳෙමින් තමන්ගේ දක්ෂතාවය මැනැවින් විදහා දැක්වූවාය.

අටවන පන්තියට ඇතුලත් වනවිට ශෂිකාත් විශ්වනීත් වැඩිවියට පත් මන බඳින සුන්දත්වයකින් යුතු යුවතියන් බවට පත්වී සිටිය හ. මේ අතරින් ශෂිකා පිරුණු අඟපසඟින් යුතු එතරම්ම උසකින්ද ලා නිලට හුරු දෙනෙතක්ද තලෙලු පැහැයෙන් යුක්ත සිරුරකින්ද දුඹුරුවන් පැහැගත් දිගැති වරලසකින් යුක්ත විය. විලාසිතාවන්ට මහත් රුචියක් දැක්වූ නිසාම ඇයට නව පන්නයේ ඇඳුම් පැලඳුම් රැගෙන දෙන්නට දෙමව්පියන්ට සිදුවූ හ. ඒ සියල්ල ඉතා සතුටින් ඉටුකර දෙන්නට දෙමව්පියන්ද පසුබට නොවුයේ කුමන ඇඳුමකට වුවද ඇයගේ රූ සපුව මනාව ගැලපුනු නිසාවෙනි.

කුඩා කල පටන් නිහඬ හා සරල දිවිපෙවෙතකට උරුමකම් කී විශ්වනී මව විසින් තෝරා දෙනු ලබන ඕනෑම ඇඳුමකට ප්‍රිය කලාය. සරල ඇඳුමින් සැරසුනද ඒ තුලින් පවා ගම්‍යවන සරල සුන්දරත්වය දකින්නන්ගේ දෙනෙත් අමන්දානන්දයට පත් කිරීමට සමත්ය. මදක් උස කෙට්ටු සිරුරකට හිමිකම් කියන ඇයගේ සම ලා තඹරු පැහැයෙන් දිස්න දේ. මදක් රැළිවූ කෙස් කලඹ ඉන දක්වා දිගුව තද කලු පැහැයෙන් යුක්තය. කාන්තිමත් දෙනෙත් ලාදුඹුරු පැහැතිය එය ඇගේ මනස්කාන්ත බව තවදුරටත් වැඩි කෙරුවා වැනිය.

ශෂිකාගේ පියා තමන්ගේ රැකියාවට යෑම සඳහා පහසුවනු පිණිස පාපැදියක් මිළදි ගෙන තිබුනේ මීට වසරකට පමණ පෙරදීය. ඔහු නිතරම විමලසේනටද පාපැදියක් ලබාගන්නා ලෙස කීවත් දිනෙන් දිනම එයට අවස්තාවක් උදා නොවුනෙන් කල් ගියාය. නමුත් සෑම උදැසනකම දරුවාව සිරිසේනගේ නිවස දක්වා රැගෙන ගොස් නැවත ගොවිපලට එනවිට කාලය වැඩියෙන් ගෙවී යන නිසාවෙන්ම ඔහු පාපැදියක් මිළදී ගන්නට අදහස් කලේය. ඒ බව සිරිසේනට දැණුම් දුන් පසු සෙනසුරාදා දිනක සිරිසේන සමග ඔහුගේ පාපැදියෙන්ම නගරයට ගිය විමලසේන නැවත නිවසට ආවේ අළුත්ම පාපැදියක්ද සමගිනි. එදා දවස පුරාම පාපැදිය අත ගාමින් එහි අලංකාරය මනසින් විඳගත් විශ්වනී එයින්ද මහත් ආශ්වාදයක් වින්දාය. එදා රැයේ පාපැදියේ නැගී පියා සමග පාසැලට යන ආකාරය සිහිනයෙන් පවා දකින්නට විශ්වනී සමත් වූවාය. සදුදා සිට සෑම දිනකම උදෑසන පියා විශ්වනී පාපැදියේ නංවාගෙන සිරිසේනගේ නිවස දක්වා රැගෙන එන අතර එතැන් සිට ඇය ජගත් සහ ශෂිකා සමග පා ගමනෙන් පාසැලට පැමිනියාය. මේ එන ගමනේදි අතොරක් නැතුව දොඩවන්නි ශෂිකාය. විශ්වනී මෙන්ම ජගත්ද නිහඬ පිලිවෙතක් අනුගමනය කරන අතර අවශ්‍ය වුවහොත් පමණක් උත්තර සපයන්නේ ය. අතුරු මාර්ගය ප්‍රධාන පාරට සම්බන්ධ වන තැන ඇත්තේ තුංමන් හන්දියකි. එය ජනාකීර්ණ නොවු පාළු ස්ථානයක් වන අතර අතුරු මාර්ගයට මුහුණලා විශාල නුග රුකක් අතු පතර විහිදා අත්භූත ස්වරූපයකින් තමන් දෙස බලනවා යන හැඟීම සෑම මොහොතකම විශ්වනීට දැනෙන බැවින් ඇය නුග ගස ආසන්න වනවිට දෙනෙත් පහලට හරවා ගනිමින් එම ස්ථානය පසුකරන්නට කුඩා කල පටන්ම පුරුද්දක් කර ගත්තාය. අඳුරු ගුප්ත බව රැහැයියන්ගේ නාදයෙන් බියකරු බවට හරවා ඇත. ඒ නිසාම දෙදෙනෙක් නොව දස දෙනෙක් සමග පැමිණියද ඇය ගස දෙස බලන්නේම නැත.

පාසල නිමවීමෙන් පසු නිවසට පැමිනෙන්නේ විශ්වනීත් ශෂිකාත් දෙදෙනාත් පමණි මේ දිනවල ජගත්ට හවස පන්ති සඳහා සහභාගී වීමට සිදුව ඇති බැවින් ඔහු පාසැලේ තවදුරටත් නතරව සිටී. ශෂිකාගේ අතොරක් නැති කතා බහට මැදිව නිහඬව පැමිණෙන විශ්වනී නුග ගස ආසන්න වෙත්ම ජගත් හිටියානම් කොතරම් හොඳදැයි සිතන්නට වූවාය. පාරේ ගසට විරුද්ධ පැත්තට පැන ගන්නා ඇය එදෙසම බලා ගනිමින් ඉතිපිසෝ ගාථාව හිතෙන් මතුර මතුරා බොහොදුරක් ඇවිද යාම පුරුද්දක් කර ගත්තාය. නමුත් කිසිවිටක තමන්ගේ බය පිළිබඳව තම මිතුරියටවත් නොපැවසීමටද ඇය වග බලා ගත්තාය.

මිතුරිය සමග ඇගේ නිවසට පැමිණෙන විශ්වනී ශෂිකා සමග දහවලට සප්පායම් වී ඇයත් සමගම මගට බහින්නේ ගොවිපලේ තමන්ගේ නිවසට යෑම සඳහා ය. කුඩා පාර දිගේ සැතපුම් භාගයක් පමණ දුර ගෙවා දමන අතර තුර වම් පසින් පිහිටා ඇති කඳු පන්තිය දෙසත් එහි මුදුනේ තැවරී යන වලාකුලු ගැනත් ඊට දකුණු පසින් පිහිටි ගොවිපලවල් සමූහයත් දිනපතා දැකගත්තත් ඇයට අළුතින්ම දුටුවා සේ චමත්කාරජනකය. තනිව දොඩමින් යන ශෂිකාට පිටුපසින් හෙමින් ඇවිද යන ඇය මේ කදු මුදුනේ සිහින අතර පියඹා ගියාය. ගොවිපලේ පැල මේ වනවිට මදක් නවීකරණය කර සාදා ඇත. ඉස්තෝප්පුවෙන් ඇතුළුවූ පසු පිවිසෙන්නේ සාලයටයි. මේ සාලයට විවරවන දොරවල් සහිත කාමර දෙකකි එකක් මව්පියන් සඳහා වන අතර අනෙක විශ්වනීගේ කාමරයයි. ඊට අමතරව සාලයෙන් කෙලින්ම ගියවිට කුස්සිය දැක ගත හැකි ය. කුස්සියෙන්ද පිටතට දොරක් තිබු අතර එය කලගෙඩිපලටත් වලං මැස්සටත් කෙලින්ම පිහිටා ඇත. එතනින් පුංචි අඩිපාරක් සකස්වී ඇත්තේ නිතරම ජලය ලබාගැනීමට ලිද අසලට යෑම ඒම නිසාවෙනි.

හවස් වනතුරුම කාමරයට වැදී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සහ එක්ව පාඩම් කටයුතු නිමාවීමෙන් පසු සවස සිරිසේනගේ පැමිණිමත් සමග ශෂිකා ඔහු සමග නැවත් පිටත්ව යන අතර ගොවිපලේ සිට පැමිණි විමලසේන  ඇඟපත සොදා ගැනීමෙන් අනතුරුව මිදුලේ ගසක් යට ලී වලින් තැනු මැස්ස මත වාඩි වෙන්නේය. ඒ මොහොතේ මව රාත්‍රී ආහාර සකස් කරමින් සිටි. විශ්වනී පියා ආසන්නයෙන්ම මැස්ස මත හිඳගනිමින් කලුවර අහසේ එකනෙක තරුමල් පිපෙන අයුරුත් රෑ කෑම සොයා ඉඟිල යන වවුලන් සමුහයත් ඉදහිටක ඇහෙන බස්සෙකුගේ හුම් හුම් සබ්දයටත් ඇහුම්කන් දෙමින් පරිසරයේ චමත්කාරය සිතින් විඳගත්තාය. විටෙක නිහඬබව බිඳිමින් අසා දැන ගතයුතු යමක් පියාගෙන් විමසමින්ද, පියා විසින් කියාදෙන ඉතිහාස කතාවක ඇතුලාන්තයටම ගොස් එහි චරිතයන් තුල ජීවමාන වීමටත් ඇයට ඇත්තේ පුදුමාකාර ගති ස්වභාවයකි. මේ ගතකරන මනෝ ලෝකය බිඳ වැටෙන්නේ රාත්‍රී ආහාරය සඳහා මව කරන අඬගැසිමත් සමගය.

රාත්‍රී ආහාරය ලබා ගැනීමෙන් පසු තමන්ගේ කාමරයට වැදී යහන මත සැතපෙන ඇය විශේෂයෙන් අත්විඳි සිදුවීමක් පිලිබද මෙනෙහි කරමින් ඒ තුල සැරිසරමින්ම නොදැනීම නිදි දෙව්දුවගේ පහස ලැබුවාය. නිරන්තරයෙන් දකින සිහින තුල රජ මාළිග, සිටු මාළිග, දිය පොකුණු, මල් උයන්, වනපෙත්වල කුමරියක සේ ඇඳ පැළඳගෙන සැරිසරන ඇය සුදු අසුපිට නැගී එන ලස්සන රජ කුමාරයෙකු දුටුවාය.

තවත් වසරකින් වැඩිමහල්ව ඇය පිරිපුන් යුවතියක් බවට පත්වූ නිසාදෝ නව වන වසරේදී ඇය ඉහළ පන්ති වල පිරිමි ළමුන්ගේ ආකර්ශණයට නිබඳවම බඳුන් වූවාය. බොහෝ අවස්ථාවල ඔවුන් ඇය සමග දොඩමළුවීමට උත්සහා කලත් ඇය නිහඬවම එයින් මිඳී යන්නට තරම් දක්ෂ වූවාය. සම වයස් පිරිමි ළමුන් සමග කතාබස් කරන්නට කිසිදු පැකිලීමක් නැතත් වැඩිහිටි ළමුන්ට ඈ බිය වූවාය. ඔවුන් අතරින් ඇය දොඩමළු වූවානම් ඒ ශෂිකාගේ සහෝදරයා සමග පමණක්ම වූවාය. කුඩාකල පටන් එකට හැදි වැඩී කෙළිදෙලෙන් කල් ගෙවු ඔහු ගැන අල්ප මාත්‍රයක තරම්වත් බියක් ඈ තුල පැන නොනැංගාය.

එකොළොස්වන පරිච්ඡේදය:

ඊළග වසරනම් විශ්වනීට, ශෂිකාට පමණක් නොව ජගත්ටද වැදගත්ම වසරක් වූ හ. ඒ ජගත් උසස් පෙල විභාගයට මුහුණ දීමත් යුවතියන් දෙදෙනා සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දීමට සිටි නිසාවෙනි. ජගත් මේ වසරේ පාසල් එනවාටත් වඩා කලේ අමතර පන්ති සඳහා සහභාගීවීමය. විශ්වනි සහ ශෂිකා පාසල නිමාවිමෙන් පසුවත් තවදුරටත් පාසලේම නතරවන්නේ අමතර පන්ති යෙදි ඇති නිසාවෙනි. බොහෝ ළමයින් සීතලවූ ආහාරයකින් දිවා කල බඩ පුරවා ගනිද්දි විශ්වනීත් ශෂිකාත් උණුසුම් ආහාරයක රස විඳගන්නේ ඔවුන්ගේ දිවා ආහාරය ජගත් විසින් රැගෙන ඒමට බාරගත් නිසාවෙනි. එය ඔවුන්ට මහත්වූ සතුටට කාරණකි. නමුත් පාසල් යන එන අතර වාරයේ ඔවුන් සමග ජගත් නොමැතිවීම ශෂිකාට කෙසේ වෙතත් විශ්වනීටනම් හදවතට පාලුවක් ගෙන දුන්නාය. ඒ ඇයිදැයි විටෙක විශ්වනී කල්පනා කලාය. හොඳ සහෝදරයෙක් හොඳ මිතුරෙක් ළඟ නැති අඩුවක්ද? නොමැතිනම් වෙනස් හැඟීමක්ද? එය ඇයට තාමත් හරිහැටි වැටහෙන්නේ නැත. එ කෙසේ වෙතත් නුග ගහ ආසන්න වෙද්දි මේ හැඟීම තිවුරවන බවක් දැනුනාය.

ඉදිරියේදි පැවැත්වෙන විභාගයට සාර්ථකව මුහුණ දීමටනම් වැඩිවැයෙන් මහන්සි විය යුතුය. එබැවින් සෙනසුරාදා දිනයන්හී එක්ව පාඩම් කිරීම සඳහා මිතුරියන් දෙදෙනා කතිකා කරගත් හෙයින් විශ්වනි උදෑසනම ශෂිකාගේ නිවස බලා ගමන් කලාය. ඒ යන අතරතුරත් අවට සිරි නරඹන්නටනම් ඈ අමතක නොකලාය. ජගත් නිවසින් පිටත්වීමට පෙර නිවසට පැමිණිමට හැකිවීම ගැන ඇය බොහෝ සතුටට පත් වෙන්නීය.

නිවසට ගොඩවැදී ජගත් සමග දොඩමළුවන ඇය ඔහු පිටත්ව යන දෙස දොරකඩට වී බලමින් උන්නාය. මද දුරක් ගිය ඔහුද නැවතත් හැරී බලන්නේ ඇය එදෙස බලා සිටිනවා යන සිතුවිල්ලද සමගිනි. ඒ සමගම අතවනා ඔහුට සමුදෙන්නටද ඇය අමතක නොකලාය. මහ මගට වැටි දුරස්ව නොපෙනී යන තුරුම ඇය එදෙස බලා සිටියාය. ඉන්පසු ශෂිකාත් සමග ඇයගේ කාමරය වෙත යන විශ්වනී ශෂිකාගේ අතොරක් නැති කතා බහට හුම් මිටි දෙමින් තවත් වේලාවක් ගත කිරීමෙන් පසු පාඩම් කටයුතු සඳහා අවස්ථාව උදාකර ගත්තාය. දවස මුලුල්ලේ පාඩම් වැඩකර දිවා ආහාරයද ශෂිකාගේ නිවසින් ලබා ගන්නා ඇය නැවතත් නිවසට යෑම සුදානම් වන්නේ පියා ඈ කැදවාගෙන යෑම සඳහා පැමිණිවිටය.

පාඩම් කිරීම සඳහා පැමිණි එක් සෙනසුරාදා දිනයක ජගත් නිවසෙන් පිටත්වී දුරස්ව නොපෙනී යන තුරු දොරකඩටවී බලා සිටි විශ්වනී හට ශෂිකා ඇණුම් පදයක් විලාසයට මෙසේ කීවාය. "මොකෝ විශී අයියා නැතිවුනාම පාළුයි වගේද?" වදන් පෙල දෙසවනට වැටෙනවාත් සමග විශ්වනි තිගැස්සුනාය. ඒ වේගයෙන්ම ශෂිකා දෙස බලා සිටියේ කුමක් කියම්දෝ යන සිතුවිල්ල සිත තුල පොරබදන අතරවාරයේය. "මට පේන්නේ මෙයා මගේ නෑනා වෙන්න යනවා වගේ. හොඳයි හොඳයි වෙන කෙනෙක් නෑනා වෙනවට වැඩිය දන්න කෙනෙක් වෙන එක ගැනනම් මට හරිම සතුටුයි" ඇය නොකඩවාම කියාගෙන ගියාය. "ශෂි පිස්සුද? දැං අම්මටත් ඇහෙනවා" "ආ අම්මට ඇහෙන එක ගැනයි මේ බය නේද? බය වෙන්න එපා හලෝ අපේ අම්මලත් ඔයාට හරිම කැමතියි." ශෂිකා එවර එසේ කීවාය. සිතේ වෙව්ලිල්ල ගත පුරාද දුවමින් තිබෙන බව විශ්වනීට දැනුනාය. ලැජ්ජාව මුහුණ රතු පැහැයට හරවා ඇත. දෙතොල් වියළි මුව ගොළුවී ගොසිනි.

"ඇත්තමයි විශී මට හිතෙන්නේ අපේ අයියත් ඔයාට කැමතියි. මං මේ ළගදි දවසක එයාගේ පොතක කවියකුත් ලියලා තියෙනවා දැක්කා. ෂුවර් ඒක ලියවිලා තිබුනේ ඔයා ගැනමයි. " "කෝ ඒ කවිය? " විශ්වනීට කට වැරදුනාය. "පුදුම හදිස්සියක්නේ තියෙන්නේ මෙයාට. ඕකනේ කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියලා. ඉන්නවකෝ මම තව පොඩ්ඩකින් පෙන්වන්නම් "

"පුංචි කාලේ බැඳුණු සෙනෙහේ අකුරු දන්නේ නෑ

හිත පතුලේ උපන් හැඟුම් මම දන්නෙත් නෑ

අකුරු පුරා හැඩ කෙරුවට මුව දොඩමලු නෑ

දුරක ගිහින් පැටලෙන්නට හිතක් ඇත්තේ නෑ "

 

ඇත්තටම මේ කවිය තමන් ගැනමදැයි විශ්වනී කල්පනා කලාය. කවියට උඩින් "හිත ගත්ත සුරදූති ඔබමයි ලදේ විශ්වයම මගේ දෑස මානෙන් පෙනේ " ලියා තිබුනි. මේ මොහොතේ විශ්වනීට හුදකලා ලෝකයක සිහින තොටුපලක් සැකසිය හැකිනම් යැයි සිතුනාය.

තවත් පිටුවක මෙහෙම ලියලා තිබුනා.

හමන සුළං පොදක එති සිහිල බෙදන්න

මල් පඳුරක මලක් වෙලා සුවඳ හමන්න

ගලන දොලක හැඩ පාකර මා වෙත එන්න

හිතේ තියෙන පෙම් සිතුවිලි ඔබට කියන්න

ලා රෝස පාට කම්මුල් මත හාදු තබන්න

තව පොඩ්ඩක් මා වෙතටම නැඹුරුව ඉන්න

දෑඟිලි මත තෙරපෙන කවි පද ලියවෙන්න

මා වෙනුවෙන් ඔබේ හදවත විවර කරන්න

 

"ශෂි මගේ හිස කකියනවා වගේ  පාඩම් කරන්නත් බැරි තරමටම රිදෙනවා. ඒ හින්දා මම ගෙදර යන්නම් " විශ්වනි එසේ කියුවිට "හිසේ කැක්කුම මොකක්ද කියලා මංනම් දන්නවා " ශෂිකා එහෙම හිතුවත් මුකුත් කිව්වේ නෑ. "එහෙනම් යං මඟට ගිහින් ඇරලවන්නම් " කියා දෙදෙනාම නිවසින් පිටත්ව ගිය හ.

නිවසට පැමිණි විශ්වනී දුටු මව ඇයිදැයි ඇයගෙන් විමසුවාය. හිසේ කැක්කුමයි සුපුරුදු බොරුව මවටත් පැවසු ඇය කාමරයට වැදුනාය. මව පැමිණ ඕඩිකොලොන් ටිකක් ගෙන ඇයගේ හිසට දමා ඇතුල්ලුවාය. "ටිකක් නිදාගන්න එතකොට හරි යයි " කියා මව කාමරයෙන් පිටව ගියාය. ඇයට කල්පනා කරන්නට බොහෝ දේ තිබුනාය. ඇත්තටම ජගත් තමන්ට කැමතිද? තමනුත් ජගත්ට කැමැත්තෙන් සිටින්නේද? මෙලෙස කල්පනා ලොවේ මද වේලාවක් සැරිසරමින් සිටි ඇයට ඇත්තටම නින්ද ගොස් තිබුනාය. අවදිවිමෙන් පසුවත්, හවස්වනතුරුමත් ඇය සිටියේ මේ සිතුවිල්ලෙන්මය. පියා නිවසට පැමිණිවිට දියණියගේ වෙනස දුටුවේය. මේ ගැන මවගෙන් විමසුවිට "හිස කකියනවලු " පිලිතුරු දුන්නාය.

එදා හවස් වරුවේ සුපුරුදු සෙනසුරාදාව ගෙවන්නට සිරිසේන පවුලේ අය විමලසේනගේ ගෙදරට පැමිණිය හ. විශ්වනී කාමරයෙන් එළියටවත් නොආවේ ජගත්ට මුහුණ දෙන්නට බැරි මොකක්දෝ ලැජ්ජාවක් හිතට වදදුන් නිසාවෙනි. ඒ වෙනුවට ශෂිකා ඇගේ කාමරයට ආවාය. මව්වරුන් කුස්සියේය. පියවරුන් මිඳුලේය. ජගත්ට මහා පාළුවක් දැනුනේය. විශ්වනීගේ කාමරයට යායුතුයැයි සිතා එදෙසට ගියත් ක්ෂණිකවම අදහස වෙනස් කර ගත්තේ ය. නැවත හැරි මද දුරක් ආ ඔහු නැවතත් ආපස්සට හැරුනේය. කාමරය ආසන්නයටම ගියවිට අදහස නැවත වෙනස්විය. කවරදාකවත් මෙවැන්නක් සිදුව නැති බව ඔහුගේ සිතට උපන්නේය. යම්දෝ නොයම්දෝ කියා සිතමින් දොර අභියස මදක් නතරව සිටියේය. සහෝදරයාගේ හොරගල් ඇහිලිල්ල ශෂිකා හොඳින්ම දුටුවාය. "විශි මම තාත්තා ඉන්න තැනට ගිහින් විගහට එන්නම් එතකන් ඔයා ඉන්න " කියා ශෂිකා කාමරයෙන් බැහැරව ගොස් තමන්ගේ සහොදරයා ළගට පැමිණ "අයියේ අන්න විශ්වනී ඔයාට එන්න කිව්වා " යැයි කියා පියවරුන් සිටින දිහාවට ඇවිදගෙන ගියාය. ශෂිකා දුරකට යනතුරු සිටි ඔහු දොරට තට්ටුකර "ඇතුලට එන්නද? " විමසුවේය. ජගත්ගේ හඬ ඇසිමෙන් විශ්වනීගේ හදවතේ තිගැස්මක් ඇති කරන්නට සමත් වුවද ඒ බව සඟවා "එන්න" යැයි ආරාධනය කලාය. ජගත් කාමරයට ඇතුළු වුනේය. ඇය ජනේලයට පිටුපා ජගත් දෙස දෑස් දල්වා බලා සිටියාය. දෙදෙනාගේ දෙනෙත් එකවිට එකට ගැටුණු ඇසිල්ලේ ඇගේ සිත ලැජ්ජාවකින් පීරි ගාන්නට විය. නිහඩතාවය තත්පර වුවත් එය මිනිත්තු, පැය මෙන් දැනෙන්ට විය. නිහඬතාවය බින්දේ ජගත්ය.

"ඇයි මට එන්න කිවුවේ? " "කවුද? " කියා වචනයක් පිටවෙන්නට ගියත් එය අසිරුවෙන් මැඩගත් විශ්වනී "ඔයා තනියම ඉන්න නිසා" කියා උත්තර දුන්නාය. ශෂිකා මෙවැන්නක් කියා ඇති බව විශ්වනීට පැහැදිලිය. නමුත් ඒ පිලිබදව අල්පමාත්‍රයක තරමටවත් තරහවක් මතු නොවූයේ හිත යටින් මෙයට ඇතිව තිබු කැමැත්ත නිසාය. "ඉතිං හිටගෙන ඉන්නේ ඉඳගන්න " ඇය ඇඳ දෙසට අත පෙන්වමින් කියා සිටියාය. ජගත් ඇඳ මත කෙළවරකින් වාඩිවුනේය. එවිට එහිම අනෙක් කෙලවරේ වාඩිවූ විශ්වනී "ඔයා ලියලා තිබුනු කවිය දැක්කා කවුරු ගැනද අප්පා ඒ ලියලා තිබුනේ? " ඔහු ලියූ කවිය ඇය දැක තිබේ. සමහරවිට නංගි එය ඇයට පෙන්වා ඇත. සියුම් ලැජ්ජාවක්ද සමග සියුම් සතුටක්ද ඔහුගේ හිත තුල නලියන්නට විය. "කවුද ඒක පෙන්නුවේ? " "ඒකෙන් වැඩක් නෑනේ ඔයා කියන්නකෝ කවුද ඔයාගේ හදවත හොරාගත්තු වාසනාවන්තිය කියලා " ඇයගේ දෑස් වෙත එක එල්ලේ බලා ඔහු හිමිහිට "වෙන කවුද? ඔයා ගැන තමයි" කීවේය. විශ්වනීගේ දෙනෙත් දිස්නයක් මතුව ආවාය. මුහුණ තද රෝස පැහැයට හැරුනාය. ඉතිං ස්ථීරය ඇය තුලද තමන් ගැන ඇල්මක් ඇත.

"හුගක් දවස් ඉදන් මම ඔයාට කැමති වෙලයි හිටියේ ඒත් ඒක කියාගන්න බැරිව මම ගොඩාක් දුකිනුයි හිටියේ කොහොමද කියන්නේ බැරි වෙලාවත් ඔයා අකමැති වුනොත්  ඉතිං කියන්න ඔයා මට කැමතිද? " "ඔව් මමත් කැමැත්තෙන් හිටියේ " මේ කතාබහ නිමවෙනවාත් සමගම ශෂිකා කාමරයට ඇතුලු වුනාය. ජගත් සහ විශ්වනී ගොළුවූ මුවින් යුක්තව ඇය දෙස බලාගත් වනම සිටිය හ. "මොකද මේ දෙන්නා හොල්මනක් දැකලා වගේ මං දිහා බලාගෙන ඉන්නේ. ඇයි මාව කලින් දැකලා නැද්ද? " ශෂිකා එසේ කියනවිට දෙදෙනාගේම මුවට සිනහවක් නැඟුන හ. "හා හා මට තේරුනා වැඩේ. මම කියන්නම් අම්මට දෙන්නා යාළුයි කියලා. අම්මේ ........  " ශෂිකා හඬ නඟා මවට කථා කලාය. "පිස්සුද තමුසෙට මොනවද කරන්න යන්නේ" ජගත් සැරවුනේය. ශෂිකා හයියෙන් සිනාවුනාය. "මොකද ළමයෝ කෑගහන්නේ? " ඒ ශෂිකාගේ මවය. "මේ අයියා කියනවා එයාට තේ එකක් බොන්න තිබුණනම් හොඳයිලු. අපි දෙන්නටත් ඕනා නේද විශි " ශෂිකා කීවිට "අම්මෝ ඇති යංතං තියෙන දෙඩවිල්ලට මොන පල්හෑල්ලක් දොඩවයිද කියලා මං පණ බයේ හිටියේ " ජගත් සැනසුම් සුසුමක් හෙලමින්ම එසේ කීවේය. "වීරයා වගේ හිටියට බයකුත් තියෙනවා නේ. හැබැයි අයියේ රහස් රකින්නනම් මේ නංගිට ජරාවක් දෙන්න වෙයි " "හා හා හරි දෙන්නම්කෝ " කියා කියන විටත් මව තේ තුනක් සදාගෙන කාමරයට ආවාය.  උන් තැනින් නැඟිටගත් ජගත් තේ කෝප්පයත් අත ඇතිව "ඔයාලා දෙන්න ඉන්න මං එළියට යනවා " කියමින් විශ්වනීගේ දෑස් දෙස බලා සිනාවකින් සංග්‍රහ කර කාමරයෙන් පිටව ගියේ ය.

කැස්සයි ආදරයයි සැඟවිය නොහැකියැයි කථාවක් තිබේ. ඒ නිසාම වැඩිකල් නොගොස්ම ජගත් විශ්වනී ආදර කතාවද දෙමව්පියන්ටද ඉවෙන් මෙන් දැනගෙන තිබුනි. විමලසේන, ස්වර්ණා විශ්වනීගෙන්වත්, සිරිසේන, කමනී ජගත්ගෙන්වත් මේ ගැන විමසුවේ නැත. නමුත් ඔවුනොවුන් අතර දරුවන්ට හොර රහසේ මේ ගැන කතා කර තිබුනි. කිසිවෙකුගේ විරුද්ධත්වයක් පැන නැගුනේ නැත. ඒ නිසාම ශෂිකා පාසල් නොගිය දිනවලදි පවා විශ්වනීව ජගත් පාසලට ඇරලුවේ ය.

සිහින අතර සුදු අසුපිට නැඟී ආ කුමරා ජගත් නොවේදැයි විශ්වනී සිතුවාය. ඉතිං  සිහින ලෝකවල සැරිසැරුවත් විශ්වනී දැන් නිහඬ නැත. නිතර දොඩවන වදන් තුල පවා සතුට පිරී ඉතිරි ඇත.

ජගත් උසස් පෙළ විභාගයට මුහුණ දීමෙන් පසු නිවසේ නතරවිය. නමුත් නැගණියවත්, විශ්වනීවත් පාසැල් රැගෙන යාම ඔවුන්ගේ දිවා ආහාරය ගෙන ගොස් දීම හා ඔවුන්ව පාසලෙන් කැදවාගෙන ඒමේ රාජකාරිය දිගටම කරගෙන ගියේ ය.

එක් දිනක් ඔවුන් තිදෙනා පාසල අවසානයේ නිවස වෙත එමින් සිටියදි නුග ගස අසල සුදු සරමකින් සහ සුදු කමිසයකින් සැරසුනු මැදිවියේ අයකු ඔවුන් දෙස බලා සිනාසුනේය. පෙරදීනම් විශ්වනී නුග ගස දෙස බලන්නටත් බිය වූවාය. නමුත් ජගත්ගේ සෙවන යට ඒ හුබස් බිය පහව ගොස් තිබුනි. ඒ නිසා අනිත් දෙදෙනා මෙන්ම විශ්වනීත් නාදුණන මිනිසාට සිනහවකින්ම සංග්‍රහා කලාය. ඒ මිනිසා ඔවුන් සිටින දිසාවට ආවේය. නැත ඔවුන් සිටින දිහාවට නොව විශ්වනී දිහාවට ආවේය. "නෝනා සාත්තරයක් අහමුද? " විශ්වනී පැකිලුනාය. "අනේ අයියේ අහමුකෝ " ශෂිකා ඉස්සර විය. "මං සල්ලි ගෙනාවේ නෑ " ජගත් කිව්වේ ඇත්තය. "සල්ලි එපා මහත්තයා. අත දෙන්නකෝ නෝනා " ඔහු විශ්වනීට කීවේය. විශ්වනී අත ඔහු වෙත පෑවාය. "මේ නොනායි මේ මහත්තයයි ආදරවන්තයෝ කියලා මට පේනවා. ඒ විතරක් නෙමේ මේ නෝනා පෙර පිං ඇති කෙනෙක්. කවදා හරි දවසක විශාල ධනස්කන්දයකට උරුමකම් කියන්න පුළුවන් තරමේ වාසනාවක් තියෙනවා. හැබැයි මේ වාසනාව එන්න කලින් බොහෝ දුෂ්කර කාල ගෙවන්න සිද්දවේවී. සමහරවිට තියෙන හැම දෙයක්ම නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් කලබල වෙන්න එපා අනාගතය සුභයි කියලා හිතාගෙන ඉවසීමෙන් ඉදිරියට මුහුණ දෙන්න. පරාදයන් එන්නේ ජයග්‍රහනයන් මුවවිටේ තියාගෙන. " "කෝ දෙන්න බලන්න අනිත් නෝනා අත " ශෂිකා අත දික්කලාය. "මේ නෝනාත් වාසනාවන්ත කෙනෙක් කියලා පෙන්නනවා. හැමෝම කියන්නේ හරි හැඩකාරයි කියලා හැබැයි ටිකක් කටකාරයි. කටට එන ඕනා දෙයක් කියවන එක පුරුද්දක්. කටකාරයි වගේම මතක ශක්තියත් අනර්ගයි. ඒ හින්දම අධ්‍යාපනයෙන් යන්න තියෙන ඉහළම තැනට යාවී. ඒ විතරක්ද කවදා හරි දවසක රටේ ජනප්‍රිය තනතුරක් ලබනවා විතරක් නෙමේ විවාහයත් සිද්ද වෙන්නේ රට හොල්ලලා" "හරි දැං බලමුකෝ මහත්තයට කොහොමද කියලා. " ශෂිකාගේ අත අතහැරපු ඔහු ජගත් දෙසට හැරී කීවේය. ජගත්ද සාත්තරයක් අසන්නට සුදානම් වෙමින් ඔහු වෙත අත දිගු කලේය. "මේ මහත්තයටත් ඉගෙන ගන්න පුළුවන් දක්ෂතාවයක් තියෙනවා. ඒත් මොනයම් ක්‍රමයකින් හරි ඒක බිද වැටෙනවා. ඒ කොහොම වුනත් මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද රැකියාවක්නම් කරනවම තමයි. මහත්තයාගේ වාසනාව වැල්ලේ කැරකෙන්න ගන්නේ මෙන්න මේ නෝනා නිසා " ඔහු විශ්වනී දෙසට ඇගිල්ලක් දිගුකරමින් පැවසුවේය. "මං මේ කියපු හැම දෙයක්ම ඉර හඳ වගේ විශ්වාසයෙන්ම සිද්ද වෙනවා ඒක සිකුරුයි. හැම දෙයක්ම හරි ගිය දවසට මෙන්න මේ නුග ගහ යට බුදු මැදුරක් හදන බවට පොරොන්දු වෙලා මහත්තයලා ආපු ගමන යන්න " ඔවුන් ඔහුට ස්තුති කොට එතනින් නික්ම ගිය හ.

නිවසට පැමිනි විගස විශ්වනී  ආදර සම්බන්ධතාවය ගැන කියු කොටස හැර අනෙක් සියළු දේ ගැන ඇයගේ මවට කිව්වාය. එය අසා උන් මව පැවසුවේ "දුවගේ නම් තියපුදා පංසලේ හාමුදුරුවොත් එහෙම කතාවක් කිව්වා. ඒත් ඔය සාත්තරකාරයොනම් කීයක් හරි කඩාගන්න කියන බොරු " කියාය. මව එසේ කීවද ඔහු කිසිදු මුදලක් ලබා නොගෙනම මෙවැන්නක් කීම තුල යමක් ඇත්දැයි විශ්වනී සිතුවාය. එදායින් පසු කවරදාකවත් ඔවුන්ට ඒ නාදුණන මිනිසා මුණ ගැසුනේ නැත.

දොලොස්වන පරිච්ඡේදය:

සාමාන්‍ය පෙල විභාගයට තිබුනේ තවත් දින කිහිපයක් පමණි. දහවල් දෙකට පමණ හිටි අඩියේම මහා වර්ෂාපතනයක් ඇද හැලෙන්නට විය. මොර සූරන වැස්ස ඒ මදිවාට හතර දෙසින් හමන සුළඟ ගස් අඹරවමින් තිබේ. ශෂිකාත් විශ්වනීත් පාසල් ගොසිනි. හවස් වනවිට වැස්ස තුරල්වේයැයි සිතා සිටියද එන්න එන්නම දැඩිවූවා මිස අඩුවක්නම් නොවුනි. පන්ති ඇරෙන වේලාවට ආසන්න බැවින් ජගත් කුඩයක්ද ගෙන මගට බැස්සේය. කුඩයෙන් බේරුනේ හිස පමණකි. හතර වටින්ම වැස්සත් සමග ගලා එන සුළඟ මුළු සිරුරම තෙත බරියන් කරන්නට සමත්විය. එක් විට‍ෙක සුළඟ කුඩයෙන් අල්ලා ඔහුව ඉවතට අදිමින්ද, තවත් විටෙක ඉදිරිපසට තල්ලු කරමින්ද මහත් කලබගෑනියක් කලේය. අසිරුවෙන් පාසල දක්වා ගියද නැවත පැමිණිම කෙසේ කරන්නදැයි ඔවුන් තිදෙනාගේම සිතුවිල්ලවූ හ. සුළඟේ වියරුව මදක් අඩුවිය. වැස්සනම් එකම ලෙසට වසී. ඒ නිසා ඔවුන් නිවස බලා එන්නට පිටත්වූ හ. තමන් ලඟ කුඩයක් තිබුණත් විශ්වනී ජගත්ගේ කුඩය යටට වැදුනාය. ශෂිකා ඇගේ කුඩය ගෙන ඉහලා ගත්තාය.

වැස්සත් සමග සීතල දැඩිව දැනේ. විශ්වනී ජගත්ගේ සිරුරට ඇලෙමින් ගමන් ගත්තේ ඒ නිසාවෙනි. ශෂිකා දෑතින්ම කුඩය අල්ලාගෙන දෑත් ළය මඩලට තද කරගනිමින් ගමන් කලාය. නැවතත් සුළග දැඩිවිය. ඔවුන් ජගත්ගේ නිවසට පැමිණෙනවිට මුළු සිරුරුම තෙත බරිතව ගොසිනි. ජගත්ගේ මව වහාම ඔවුන්ට ඇග පිසලා දැමීම සඳහා තුවා තුනක් රැගෙනවිත් දුන්නාය. ඉන් පසු හනිකට උණු උණුවේ තේ කෝප්ප තුනක් රැගෙන ආ ඇය එය ඔවුන් වෙත පිලිගැන්වූවාය. වැසි අන්ධකාරය හාත්පස පුරා පැතිර යද්දි විශ්වනීගේ පියා විදුලි පන්දමක් රැගෙන ජගත්ගේ නිවසට පැමිණියේය. මහ වැස්සේම ඔවුන් තමන්ගේ නිවස දෙසට ඇවිද ගියහ.

පසුදා විශ්වනීලාට පාසල් යා නොහැකිවිය. ඊට පසුදාත්, ඊටත් පසුදාත් තදින්ම වැස්සේය. මාර්ග ජලයෙන් යටවිය. රජය නිවේදනය කලේ බදුලු ඔය පිටාර මට්ටමේ පවතින බැවින් පහත් බිම්වල ජනතාව ඉන් ඉවත්විය යුතු බවයි. ඒ අනුව විමලසේනලා දෑතේ රැගෙන යාහැකි භාණ්ඩ කිහිපයක්ද සමග තම නිවසින් පිටව සිරිසේනගේ නිවසට පැමිණිය හ. රාත්‍රි තවත් වැස්ස දැඩිවිය. පාන්දර වනවිට බදුලු ඔය පිටාර ගලා ගංවතුර තත්වයක් ඇතිවිය. ගංවතුරට අසුවූ විශ්වනීලාගේ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර ගොවිපලද සහමුලින්ම ජලයෙන් යටවී විනාශ කර තිබුනි.

"දරුවාගේ අධ්‍යාපනයයි ගංවතුරට ගහගෙන ගියේ " විමලසේන හීල්ලුවේය. "මං ඉන්නකම් ඒවා ගහගෙන යන්න දෙන්නේ නෑ විමලේ " සිරිසේන විමලසේනව අස්වැස්සුවේය.

විශ්වනී විභාගයට ගියේත් ශෂිකාගේ නිවසේ සිටය. නිවසේදී ඇන්දේ ශෂිකාගේ ඇඳුම්ය. කෑවේ බීවේ සිරිසේන මාමා හම්බ කල දේය. එදා තාත්තායි, සිරිසේන මාමායි කල දෙබස විශ්වනීට  වැටහුනේ එවිටය. ගංවතුරට ගිය අධ්‍යාපනය සිරිසේන මාමා ගොඩ ගනිමින් සිටි. ඒ අතර ජගත්ගේ විභාග ප්‍රතිපල නිකුත් වී තිබුනි. ඉහළම ළකුණු ලබා ගනිමින් ඔහු සමත්ව සිටියේය. විශ්ව විද්‍යාලයක් ඇතුලත්වීමේ සුදුසුකම් ලබා තිබුනත් ඔහු එය ප්‍රතික්ෂේප කලේය. පියාගේ බල කිරීමට විශ්ව විද්‍යාල සඳහා අයදුම් කලත් ඒ අතරම රැකියාවක් සොයා ගැනීම සඳහා වෙහෙස වූයේය. එක් එක් ආයතන සඳහා අයදුම්පත් යොමු කලේ ය.

සති කිහිපයකට පසු ලද තොරතුරකට අනුව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් වෙත ගොස් එහි කලමණාකරු හමුවුනේය. ඒ අනුව පුහුණුලාභියෙකු වශයෙන් අදාල මූල්‍ය ආයතනයේ තාවකාලික රැකියා පුරප්පාඩුවකට ඇතුලත්වීමට ජගත්ට හැකිවිය. එය යම් තරමකට අස්වැසිල්ලක් බව ඔහු සිතුවේය. මේ පිලිබඳව නිවසේ අයට දැණුම් දුන් අවස්ථාවේ විශ්වනීගේ නිතැතින්ම මතකයට ආවේ එදා සාත්තර කියු ඒ නාදුණන පුද්ගලයාවයි. ජගත්ට මූල්‍ය ආයතනයක රැකියාවක් හිමිවන බව ඔහු කීවේ ය. එපමණක් නොවේ විශ්වනීලාට මේ මොහොතේ විඳින්නට වෙන කරදර ගැනද ඔහු කිව්වේ ය. එසේනම් ඔහු කියු අනෙක් අනාවැකිද සිකුරටම හරි යනු ඇතැයි ඇය විශ්වාස කරන්නට වූවා ය.

 ජගත් රැකියාවට ගියේ ය. මේ දිනවල විමලසේන ගොවිපල නැවත සකස් කිරීමටත් ගොවිපලේ කැඩි බිදි ගිය නිවස පිලිසකර කරන්නටත් වෙහෙස වෙමින් සිටියේය. මවද ඔහුට උදව්වීම සඳහා වැඩිපුර රැදි සිටින්නේ ගොවිපලේමය. ශෂිකාගේ මව ඉවුම් පිහුම් ඇතුළු නිවසේ කටයුතු වෙනුවෙන් උපරිම කාලය යොදවා ඇත. විශ්වනිත් ශෂිකාත් තමන් මූණ දුන්  විභාග ප්‍රතිපල පිලිබද සුභවාදි වෙමින් උසස් පෙල වෙනුවෙන් තෝරාගන්නා විෂයන් ගැන සාකච්චා කලහ. සිතු ලෙසම විභාග ප්‍රතිපල සුභදායක විය. දෙදෙනාම උසස් පෙල හැදෑරීම සදහා සුදුසුකම් ලබා තිබුනි. ඒ වනවිටත් ඔවුන් උසස් පෙල හැදැරීමට වානිජ විෂය තෝරාගෙන තිබුනි. පාසලේ ලබන අධ්‍යාපනයටත් වඩා අමතර පංති වලට යෑම සුදුසුයැයි ශෂිකාගේ අදහසවුනා ය. අවශ්‍යතාවය කුමක්වුවත් මේ මොහොතේ පියා ඇතුළු තම පවුල මුහුණදී සිටින උග්‍ර ආර්ථික ගැටළුව හේතුවෙන් විශ්වනී ඒ යෝජනාවට මදක් පසුබටවුනා ය. සිරිසේන මාමා ඔවුන් වෙනුවෙන් කල දෑ බොහොමයි. ඉතිං අධ්‍යාපනය වෙනුවෙනුත් ඔහුට බරක් දීමට විශ්වනී අකමැති වූවා ය. නමුත් අධ්‍යාපනය අතහැරීමටද ඇයට නොහැකි ය. ඒ නිසා පාසල තුලින් ලබන අධ්‍යාපනයත්, නිවසේදි උපරිමව කරන පාඩම් කටයුතුත් උපයෝගී කර ගනිමින් උසස් පෙල කඩඉම ජයගන්නට ඈ අධිෂ්ඨාන කරගත්තා ය.

සැබැවින්ම සිරිසේනට පවුල් දෙකේ ආහාර අවශ්‍යතාවය පවා සිදුකලේ අසිරුවෙනි. ජගත් තාවකාලික රැකියාවක  නියැලීම එක් අතකට ආශීර්වාදයකි. එසේ නොවුනානම් තමන් උපයන මුදලින් ශෂිකාගේ පන්ති ගාස්තු ගෙවීම පවා සිදුකරන්නට බැරි තරම් ය. නමුත් ඔහු එසේ සිතුවා විනා කිසිම විටක මේ ගැන මුවින් අවලාද නොකිවේ ය. විමලසේන වෙනුවෙන් තමන් සිදුකරන්නේ යුතුකමකටත් වඩා වගකීමක් ලෙස සිතාය. ස්වර්ණාගේ මාමා ඔවුන්ව තමන් වෙත එවුවේ එතරම්ම විශ්වාසයකින් බව සිරිසේන දත්තේ ය. ඒ නිසා කිසිවිටකත් ඒ වගකීම තමන් පැහැර නොහරින බව ඔහු ඔහුටම දිව්රා ගත්තේ ය.

විශ්වනී ගෙන තිබූ තීරණය දැනගත් ජගත් නැගණියගේ සහ විශ්වනීගේ අධ්‍යාපනය වෙනුවෙන් විය හියදම් තමන් දරන්නට සුදානම් බව විශ්වනීට දන්වා සිටියේ ය. නමුත් ඇය එය තරයේම ප්‍රතික්ෂේප කලා ය.

පියා නිවස ඉඳිකිරීමේ කටයුතු නිමා කර තිබූ නිසා විශ්වනීලා නැවත ගොවිපල වෙත පදිංචියට පැමිණිය හ. සිරිසේනගේ නිවසෙන් හට්ටි, මුට්ටි, වලං වැනි දෑ, රෙද්ද හැට්ට ඇඳ ඇතිරිලි පමණක් නොව සතියකට පමණ සෑහෙන ආහාර ද්‍රව්‍යද ඔවුන් රැගෙන ආ හ. මේ වනවිට ගොවිබිමේ පැල කුඩාවට නමුත් සාරව වැඩෙමින් තිබුනි. තව මාසයකින් දෙකකින් වැටීහුන් තැනින් නැගීසිටින්නට හැකිවනු ඇත. එපමණක් නොව අසීරු මොහොතේදි පිළිසරණය වූ සිරිසේනගේ බර පියවා දැමීමට හැකිවනු ඇතැයි විමලසේන සිතුවේ ය. තම දියණියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා වන වියදම් දරන්නටද හැකියාව උදාවනු ඇතැයි ඔහුගේ විශ්වාස වුනේය. ඒ සිතුවිලි පවා ඔහුට මහත් අස්වැසිල්ලක්ම විය.

කාලය කෙමෙන් ගෙවී ගියේ ය. විශ්වනී සුපුරුදු ලෙස පාසලට ගියා ය. සතියේ දින කිහිපයක් ඇය සමග පාසල් ගිය ශෂිකා අනෙක් දිනයන් හී පන්ති සඳහා සහභාගි වීම නිසා විශ්වනීට ජගත් සමග ඔහුගේ පාපැදියේ නැගී පාසල් යන්නට සිදුවුනා ය. ඔව් ඔහු මේ වනවිට බැංකුවේ ස්ථීර සේවකයෙකු වී සිටියේ ය. ඒ නිසාම ගෙවීමේ පදනම මත පාපැදියක් මිළදී ගන්නට ඔහු සමත් වූයේ ය. එම පාපැදියේ නැගී ජගත් සමග යන ගමන විශ්වනීගේ සිත ඇලුම් කලා ය. මෙලෙස වසරින් අඩක් පමණ ගෙවූ තැන ගොවිපලේ ආදායම සාර්ථක වූ බැවින් විමලසේන දියණියට කියා සිටියේ අමතර පන්තියකට ඇය සහභාගී වීම සුදුසු බවයි. ඊට අනුගත වෙමින් විශ්වනී සිය මිතුරිය නොඑසේනම් අනාගත නෑනන්ඩිය සහභාගීවන පන්තියටම යෑමට තීරණය කලා ය.

ඉරිදා හවසට පාපැදියෙන් විශ්වනීගේ නිවසට පැමිණෙන ජගත් දොරකඩ හිඳිමින්ම "යංද බයිසිකලෙන් රවුමක් " විශ්වනීගෙන් ඇසුවේ ය. "ටිකක් ඉන්න මම ලැහැස්ති වෙලා එනකම් " විශ්වනී උත්තර දුන්නා ය. ඒ ශබ්දයට ගෙතුලින් එළියට ආ විශ්වනීගේ මව "ආ මේ ජගත් පුතානේ ගෙට එන්නේ නැද්ද? " විමසුවා ය. "ගිහින් ආපහු එද්දි එන්නම් " ජගත් කීවේ ය. "දුව......." මව විශ්වනීට අඩගැසුකල "එනවා අම්මා " "මේ ළමයට පරක්කු වෙනවා ඉක්මන් කරන්න" පාපැදියේ නැගි අතුරු පාර දිගේ කන්ද නඟින අතර "දුවටත් වැඩිය අම්මටනේ හදිස්සි " ජගත් විහිළුවක් කලේ ය. "එහෙම තමයි බෑනලට ආදරේ නැන්දම්මලා " විශ්වනීද පෙරලා උත්තර දුන්නා ය. කන්ද නඟිනවිට අසිරුවෙන් පාපැදිය පදවන බව වටහා ගත් විශ්වනී "අපෝ පොඩි කන්දක්වත් නගින්න බෑනේ මෙයාට හති හලන්නැතුව" "කන්දනම් නැග්ග හැකි පිටි මුට්ටයක් පටවගත්තු නිසයි අමාරුව " ජගත් ඇණුම් පදයක් විලාසයෙන් කියා සිටියේ ය. "එහෙනම් මොනවටද පිටි මුට්ටේ පටව ගත්තේ? හොඳ පුළුන් කොට්ටයක් හොයාගන්න තිබුණනේ" "තිබුනා තිබුනා කොහෙද පිටි මුට්ටෙනේ මට ඉන්න දුන්නේ නැත්තේ" "කවුද දන්නේ නෑ කවි ලිය ලිය ඉන්න දුන්නැත්තේ?" ඔවුන් එක්ව සිනාසුන හ. ගම ඇතුලට බොහෝ දුරක් පැද යන ඔවුන් නැවත නිවසට පැමිණෙන්නේ ඉර ගලෙන් පහළට සැඟව යන වෙලාවේය. තේ එකක් බීම සඳහා කතා කලද පස්සේ දවසක එන්නම් යැයි කියන ජගත් විශ්වනීව මිදුලෙන්ම බස්සා නැවතත් හැරී යන්නට වුනේ ය. ඔහු නොපෙනි යනතෙක්ම මිදුලට වී බලා සිටින විශවනි හීන් සීරුවේ නිවසට විත් තමන්ගේ කාමරයට වැදී ඒ සුන්දර මොහොතවල් ගැන කල්පනා සයුරේ කිමිදුනා ය.

ඊළඟ අවුරුද්ද අධ්‍යාපනයේ කඩඉම් වර්ෂය වූ අතර දළුලා වැඩුනු ජගත් විශ්වනී ආදර කතාව මහා වෘක්ෂයක් බවට පත්වී අතුපතර විහිදා තිබුනි. නිවැසියන් පවා මේ ගැන විවෘතව කතා කරන තත්වයට මේ සම්බන්ධතාවය ස්ථීර වී තිබුනි. ආදරයක් රසවත් වන්නේ බාධක ඇති විටයැයි සමහරුන් කීවත්, බාධක නොමැති ආදරයේ රසයක් නැතැයි කියන්නටද කිසිවෙකුට හැකියාවක් නොමැත. ඒ නිසා ඔවුන්ගේ ආදරයද සුන්දරව, අති සුන්දරව ගලා යන්නට වූ හ.

අමතර පන්තියට ගිය මුල්ම දිනයේ ඇයව දුටු වෙනත් පාසල්වලින් එහි පැමිණි පිරිමි ළමුන් ඇය දෙස විශේෂත්වයකින් බලන බව ඇයට පෙනී ගියා ය. ඒ බව සඟවාගත් විශ්වනී ඔවුන් සමග මිත්‍රශීලිව සිනාසුනා ය. කතා බස් කලා ය. මේ නිසාම දිරිය ගත් සමහර පිරිමි ළමුන් ඇයගේ ආදරය ඉල්ලා පිටුපසින් වැටෙන්නට වූ හ. මේ පිළිබඳව විශ්වනී ශෂිකාට සැලකිරීමෙන් පසු ශෂිකා අදාල පිරිමි ළමුන් හමුවී ඇය ගැන ඇති අදහස් අතහැර ගන්නා ලෙසත්, ඇය තමන්ගේ නෑනා බවත් ඔවුන්ට සුහඳශීලිව කියා තිබුනි. ඒ නිසා ටික දිනකින්ම විශ්වනීට පිරිමි ළමුන්ගෙන් වන කරදර පහව ගියා ය. සිත, කය, මනස අධ්‍යාපනය සඳහාම යොදවන්නට මේ නිසා හැකිවීම ගැන විශ්වනී ශෂිකාට ස්තුතිය පුද කලා ය.

අධ්‍යාපනයට යෙදවිය යුතු සිත ආදරයක පටලවා ගත් බොහෝ අවස්ථාවල ශේෂය බිංදුව වීමට ඇති ඉඩකඩ වැඩියැයි මම කියමි. එය සත්‍යයක් කරමින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය ළකුණු ප්‍රමාණය ලබාගන්නට විශ්වනී අසමත් විය. ශෂිකා ඇගේ සුපුරුදු දක්ෂතාවයන් මේ විභාගයේදීද දක්වා තිබුණා පමණක් නොව දිස්ත්‍රික්කයේ ඒ විෂයෙන්  2වන ස්ථානය හිමිකර ගැනීමටද සමත් වූවා ය. විමලසේන සහ ස්වර්ණා දියණියගේ මේ පසුගාමීත්වය ගැන කණගාටුවට පත්වූවද, විශ්වනීගේ සිත නොරිදෙන ලෙස අස්වැසුව හ.

ශෂිකා තමන් ලද ජයග්‍රහණයේ සතුට භුක්ති වින්දත්, තම මිතුරියගේ ප්‍රතිපල ගැන අවංකවම දුක්වූවා ය. නමුත් එය සිත තුලම සඟවාගනිමින් ඇයව දිරිගන්වන කතා කියමින් ඈ අස්වැසුවා ය. විශ්වනීගේ සිතෙත් දුකක් නොවුනා නොවේ. නමුත් තමන්ගේ ළඟම හිතවතියගේ ජයග්‍රහණය ගැන සිතා හිතේ උපන් දුක මැඩගන්නට ඇය සමත්වූවා ය.

ඉන්පසු විශ්වනීගේ නිවසේ වූයේ ඊළගට ගතයුතු පියවර සම්බන්දයෙන්වූ සාකච්ඡාවන්ය. විශ්වනීට නැවත වරක් විභාගයට පෙනී සිටින්නැයි දෙමව්පියන් ඉල්ලා සිටියත් විශ්වනීගේ අදහස වූයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් හරහා තම උපාධිය සපුරා ගත හැකිනම් යන්නයි. මේ පිළිබදව දිගින් දිගටම කල සාකච්චාවන්ට අනුව සියළු දෙනාගේ එකඟතාවය එයට හිමිවූ හ.

තවත් මාස කිහිපයක් ඇවෑමෙන් ශෂිකා විශ්ව විද්‍යාලයට ඇතුලත්වීමේ දිනය උදාවිය. මෙදින මේ මිතුරියන්ගේ දෑස් කඳුලින් පිරී තිබුනේ කුඩා කල පටන් බැඳි මිතු දමින් තාවකාලිකව දුරස්වීමේ දුක හේතුවෙන්ද, එසේ නොමැතිනම් ශෂිකාගේ ජීවිතයේ එක් බලාපොරොත්තුවක් ඉෂ්ඨවීමේ සතුට වෙනුවෙන්දැයි ඔවුන්ටවත් වටහා ගැනීමට නොහැකි වූ හ. නමුත් තම මිතුරිය නොමැතිව තමන්ට පමණක් විශ්ව විද්‍යාලයට යෑමට සිදුවීම ගැන ශෂිකා හදවතින්ම කාණගාටුවට පත්වී සිටියා ය. ඉතිං ඇය පිටව ගියා ය.

දහතුන්වන පරිච්ඡේදය:

මේ අතර දිනක් සවසක පුවත් පතක් අතැතිව ජගත් විශ්වනීගේ නිවසට ගොඩවැදුනේ ඇයගේ ප්‍රියතම විෂය වූ ව්‍යාපාර කළමණාකරන ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා අයදුම් කැදවූ දැන්වීමක් පිලිබඳ පණිවිඩයද සමගිනි. පුවත්පතට අනුව එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය අගනුවර පිහිටා තිබුණද පුහුණු ආයතන දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක් පුරා විසිරී තිබින. වැඩිවිස්තර සඳහා ඉහත ප්‍රධාන කාර්යාලය වෙත ලිපියක් යොමුකරන්නට ඇය කටයුතු කලා ය. දින කිහිපයකට පසු සියළු විස්තර සදහන් පත්‍රිකාවක් ආයතනය විසින් ඇය වෙත එවා තිබුනි. එහි සඳහන්වූ පරිදි මුලින්ම අයදුම් පතක් ඉදිරිපත් කල යුතුය. ඉන්පසු පුහුණුව සඳහා තෝරාගත් අය මූලික ඇතුලත්වීමේ ගාස්තුවක් මුලින්ම ගෙවා අනතුරුව මාසිකව පුහුණු ගාස්තු සහ නේවාසික පුහුණුවන්නේනම් නේවාසික ගාස්තු වශයෙන්ද මුදලක් ගෙවිය යුතුය. එහි මිළගණන් දක්වා තිබු අතර පුහුණු වසර තුනක කාලය සඳහා වන අතිවිශාල මුදල තමන්ගේ පියාට දැරිය නොහැකියැයි ඇය සිතුවා ය. ඒ නිසා පුහුණුව පිළිබද අදහස අතහැරීමට ඇය තීරණය කලා ය. ඒ පිළිබදව තම මෑණියන්ට ඇය දන්වා සිටිය අතර මව "දුව ඉගෙන ගන්නකෝ තාත්තා කොහොම හරි වියදම් කරයි " යැයි පැවසුවා ය. ජගත් පැවසුවේද මුදල් ගැන වද නොවී ඇයට ඉගෙන ගන්නා ලෙසයි. ඒ නිසා අකමැත්තෙන් වුවද ඇය ඉල්ලුම්පතක් පුරවා ආයතනයට තැපැල් කිරීමට කටයුතු කලා ය. ටික දිනකින්ම ඇය පුහුණුව සඳහා තොරාගත් බව සඳහන් ලිපිය ලද අතර ඊට පසුදා ජගත් තැපැල් කන්තෝරුවට ගෙවන ලද ඇතුලත්වීමේ ගාස්තුවට අදාල රිසිට්පත විශ්වනී වෙත ගෙනැවිත් දුන්නේ ය. විශ්වනීගේ සිතේ ජගත් ගැන ආදරය තවත් වැඩිවිය. එසේ වුවද "ඇයි මං වෙනුවෙන් මෙච්චර මුදලක් වියදම් කෙරුවේ? " ඇය ජගත්ගෙන් විමසා සිටියා ය. "ඔයාගේ ආදරේ තරම් ඒක වටින්නේ නෑ " ඔහු පිලිතුරු දුන්නේ ය. කෙසේ හෝ පාඨමාලාව සඳහා සහභාගීවීමට ලැබීම ගැන ඇය මුළු හදවතින්ම සතුටට පත්වී සිටියා ය. මුදල් ගෙවූ රිසිට්පතේ පිටපතක් අදාල ආයතනය වෙත විශ්වනී විසින් තැපැල් කලා ය. තවත් සති දෙකක පමණ කාලයකට පසු ආයතනය මගින් දන්වා සිටියේ සදහන් කර ඇති දිනයේදි හෝ ඊට පෙර දින ආයතනයේ කුරුණෑගල පිහිටි පුහුණු මධ්‍යස්ථානයට වාර්තා කරන ලෙසයි. පැමිණිමේදි රැගෙන ආයුතු ද්‍රව්‍ය පිළිබදවද එහි වැඩිදුරටත් දන්වා තිබුනි. කුරුණෑගල දක්වා ඇත්තේ දීර්ග ගමනක් බැවින් බස් රථයක යෑම අසිරුවිය හැකි බැවින් පෞද්ගලික රථයකින් යෑම සුදුසුයැයි ජගත් යෝජනා කලේ ය. ඒ සඳහා බැංකුවේ මිතුරෙකුගෙන් වෑන් රථයක් ඉල්ලා ඇති බවත් ඔහු අවශ්‍ය මොහොතක එය රැගෙන යන ලෙස දන්වා තිබුනු බව ජගත් පැවසුවේ ය. වෑන් රථයේ රියදුරුට ආහාරපාන ලබාදීම පමණක් ප්‍රමාණවත් නිසා කිසිදු වියදමකින් තොරව සුව පහසුව සහිතව මෙම ගමන යන්නට හැකිවීම ගැන විශ්වනී ඉතා සතුටට පත් වුනා ය. මේ ගමන සඳහා විශ්වනී සමග ඇගේ මව, පියා හා ජගත්ද පැමිණිය යුතු බව විශ්වනී කිවා ය.

අදාල දිනයේ පාන්දර තුන පමණ වනවිට වෑන් රථයද සමග ජගත් විශ්වනීගේ නිවසට පැමිණි අතර ඒ වනවිටත් විශ්වනීත් අම්මා, තාත්තාත් ගමනට සුදානමින් සිටි නිසාවෙන් ගමනට පිටත් වූ හ. රියදුරු සමග ඉදිරිපස අසුනේ විශ්වනිගේ පියා වාඩිගත්තේය. මව වාඩිවුයේ රියදුරුට පිටුපසින් ඇති අසුනේය. විශ්වනී සමග ජගත් ඊට පිටුපසින් ඇති අසුනේ වාඩිවූ හ. අල්ලාප සල්ලාපයේ යෙදිමින්ද සිනහවෙන් පිරී ගිය සතුටකින්ද යුක්තව ඔවුන් ගමන පිටතව ගිය හ. "එහෙට ගියාට පස්සේ අළුත් යාලුවෝ හම්බවුනාම මාව අමතක වෙයිද දන්නේ නෑ " ජගත් කීවේ ය. ඒ වදන් ඇසිමෙන් විශ්වනීට මහත් දුකක් ඇතිවිය. "ඔයාට මාව අවිශ්වාසයිද? එහෙමනම් මම මේ ගමන නොගිහින් ඉන්නම්" විශ්වනී ඉතා දුක්මුසු හඬකින් කීවා ය. "විශ්වාස නැතිකමකට නෙමෙයි.ඒත්........." "ඒත් කියන්නේ අවිශ්වාසයි කියලනේ" "නෑ ළමයෝ මට ඔයාව විශ්වාසයි. රටේ ඒ වගේ දේවල් සිද්දවෙන නිසයි මම කිව්වේ." "කවුරු කොහොම වෙනස්වුනත් මම එහෙම නොවන බව මං දන්නවා. සැකයක් හිතන්න එපා බබෝ. මොන ප්‍රශ්ණයක් වුනත් මං ඔයාව අමතක කරන්නේ නෑත ඒක මං දෙන පොරොන්දුවක් හරිද" "හරි හරි ඒක මං නිකමට වගේ කියපු කතාවක් ඔයා එච්චර හිතන්න එපා " "ඒ උනාට මං ගැන පුංචියට හරි අවිශ්වාස කරන එකට මට හරිම දුකයි" මේ විදිහට කිව්වට විශ්වනීත් දැනගෙන හිටියා රටේ මේ වගේ දේවල් වෙනවා කියලා. ඒත් ජගත්ගෙන් තොර ලෝකයක් ගැනනම් විශ්වනීට හිතන්නවත් බැරි තරම්. පුංචිම පුංචි කාලේ පටන් ගොඩනැගුනු ළබැඳීයාව සෙනෙහසකටත්, සෙනෙහස ආදරයටත්, ආදරයෙන් ප්‍රේමයටත් පරිවර්තනය වුනු ආලයේ විශ්මිත බව ගැන විශ්වනී කල්පනා කලා ය. මොන වදනින් කීවද එය මොන තරම්  චමත්කාරජනකද?. ලොවක් පවතින්නේම මේ නිසායැයි ඇය සිතුවා ය. ඔවුන් මුමුණමින් කතාබහ කලද විශ්වනීගේ මවටද එය ඇසී තිබුනි. තම දියණියගේ අදහස් ගැන නොවෙනස්වන ගතිගුණ ගැන ඇයට මහත් ආඩම්බයක් දැණුනා ය.

උදෑසන ආහාර ගත්තේ එන අතරතුරදීය. ඉන්පසු තේ පානය සඳහා කඩයක් අසල නවත්වන ලදි. දිවා අහාරය ලබා ගත්තේ කුරුණෑගලට ආසන්නවූ පසුවය. කෙසේ හෝ දහවල් දෙක පමණ වනවිට ඔවුන් කුරුණෑගල නගරයට සේන්දුවූ හ. නගරය මධ්‍යයෙන් දකුණ හැරි තවත් කිලෝ මීටර් 12 පමණ ගියවිට මාර්ගය ආසන්නයේ තිබු විශල් භූමියක බොරළු අතුරා සකස් කල පාරක් පුහුණු ආයතනය දක්වා විහිදි තිබුනී. පාරට ඇතුළුවන තැන ආයතනයේ නම සදහන් නාම පුවරුවක් ඉදිකර ඇති අතර එම මාර්ගය දිගේ මීටර් 200ක් පමණ ගියවිට වාහන නැවතුම් පොල දක්නට ලැබිනි. ඒ වනවිටත් රථ ගාල පිරෙන තරමට වාහන ගාල් කර තිබුනි. ඒ සියල්ල සිසුන් රැගෙන ආ වාහන විය යුතුය. මන්ද කාර්ය මණ්ඩල රථ ගාලට යනුවෙන් ඊතල යොදන ලද දැන්වීම් පුවරුවක් පාර අද්දර සවිකර තිබූ අතර එහි ඊතලය ගොඩනැගිලි පිහිටි දිසාවට යොමු වී තිබුනි.

වාහනයෙන් බැසගත් විශ්වනී ඇතුළු පිරිස මාර්ගය ඔස්සේ ගොඩනැගිලි ඇති දිසාවට ගමන් කල හ. මග දෙපස මල් වවා ක්‍රමාණුකූලව සකස් කර ඇති අයුරු දුටු විශ්වනීගේ සිත කුලමත් වූවා ය. මග දිගේ මීටර් සියයක් පමණ ගිය තැන මුර කපොල්ලක් පිහිටා තිබුනි. ඉන් පසුව තවත් මීටර් පනහක් පමණ ගියවිට හමුවන්නේ ශිෂ්‍ය ලියාපදිංචි කිරීමේ කාර්යාලයයි. එහි සිටින නිලධාරිනියක විසින් විශ්වනීගේ තොරතුරු විමසා ඒවා ලේඛණ ගත කලාය. එතනින් ඇයව යොමුකලේ නේවාසික පහසුකම් ලබා ගන්නා අය  ලියාපදිංචි කිරීමේ ස්ථනයටය. එහි ලියාපදිංචි කිරිමෙන් අනතුරුව කාමර අංකයක් සහ දුරකථන අංකයක් සහිත කාඩ්පතක් ඈ වෙත ලබා දෙන ලදි. ඊට අමතරව ඇඳ ඇතිරිලි, කොට්ටා උරයක්ද ලබා දුනි.

එම ස්ථානයේ පුහුණු ආයතනයේ ප්‍රධාන දොර පිහිටා තිබූ අතර එම ස්ථානයෙන් ශිෂ්‍යයින් හා ආයතනයේ පුහුණුකරුවන් සේවකයින් හැර වෙනත් බාහිර පුද්ගලයින්ට ඇතුලත්වීමට අවසර නොතිබු බැවින් මව්පියන් සමග තවත් මොහොතක් ගතකල විශ්වනී ඔවුන්ට සමුදුන්නා ය. විශ්වනී මවගේ පා වැන්ඳා ය. මව ඈ තුරුලුකරගනිමින් නලලත සිප ගත්තා ය. ඉන්පසු පියාගේ පා වැන්ඳ විශ්වනි ඔහුව තරයේ තුරුලු කර ගත්තා ය. පියා ඇගේ කොපුල් සිප ගත්තේ ය. ඒ මොහොතේ සියලු දෙනාගේ දෙනෙත් කඳුලින් තෙමී ගිය හ. ජගත් ආසන්නයට ගිය විශ්වනී තමන්ගේ දෑතින්ම ඔහුගේ දෑත් අල්ලා ගත්තා ය. නිහඬවම ඔහුගේ දෙනෙත් දෙස බලා හුන් විශ්වනී සුළු මොහොතකට පසු හඬ අවදි කලා ය. "එහෙනම් පරිස්සමින් ගිහින් එන්න. පුළුවන් වෙලාවක් තිබුනොත් මේ තියෙන අංකයට කථා කරන්න. " ඇය අතේ තිබු කාඩ්පත ඔහු වෙත පෑවා ය. හනිකට සාක්කුවෙන් පෑනක් ගත් ජගත් එම අංකය තමන්ගේ අතේ ලියාගත්තේය. "ඔයත් පරිස්සමින් ඉන්න. කොහොම හරි විභාගේ ගොඩදාගන්න. මම බැංකුවට ගියාම ඔයාට එතනින් කථා කරන්නම්. ඔයාට බුදුසරණයි! " කිව්වේ ය. "ඔයාලටත් බුදුසරණයි! " ඇය පෙරලා ඔහුට පැතුවා ය.

ඔවුන් වාහන ගාල් කරන ස්ථානය දක්වා යනතුරුම ඈ එදෙස බලා සිටියා ය. මද දුරක් ගිය තැන ජගත් ආපසු හැරි ඇයට අත වැනු අතර ඇයද ඔහුට අත වැනුවා ය. ඔවුන් නොපෙනි ගිය පසු ආපසු හැරුනු විශ්වනී ඇඳුම් සහිත බෑගයත් ආයතනයෙන් දුන් ඇඳ ඇතිරිලිත් ගෙන ප්‍රධාන දොරටුවෙන් ඇතුලුවුවා ය.

දොරටුවෙන් ඇතුලුවන තැනම දෙපසට විහිදුනු කොරිඩෝවක් තිබුනි. එහි වම්පසට ඊතල ළකුණකින් "පිරිමි " යනුවෙන් සඳහන් ව තිබූ අතර දකුණු දිසාවට එවැනිම පුවරුවකින් "ගැහැණු " යනුවෙන් සඳහන් කර තිබුනි. කොරිඩෝවට එපිටින් තිබුනේ තණකොල වවන ලද හිස් භූමියකි. තණ භූමියත් කොරිඩෝවත් වෙනකර තිබුනේ සුදු යකඩින් තනන ලද වැටකිනි. පළලින් අඩු දිගින් වැඩි කොටු හැඬති තණ භූමිය වටා සුදු යකඩ වැට සහිත කොරිඩෝව දිවු අතර වම්පසින් හා දකුණුපසින් ස්ථාන දෙකකදි පමණක් තණ භූමියට ඇතුලුවිය හැකි ගේට්ටු දෙකක් සවිකර තිබුනි.

කොරිඩෝව දිගේ දකුණු පසට මද දුරක් ඇවිද ගිය විශ්වනීට ඉන්පසු වම් අත පැත්තට හැරී යන්නට සිදුවුනේ කොරිඩෝව ඒ දිසාවට සකස්වී ඇති නිසාවෙනි. මේ වනවිට විශ්වනීගේ දකුණු අත පැත්තේ අඩි 12ක පමණ උසකින් යුත් තාප්පයක්ද හිස් මුදුනට ඉහළින් ආවරණයක්ද සකස් කර තිබුනි.

ප්‍රධාන දොරට සාමාන්තරව අනෙක් පසද එවැනිම දොරක් ඇති බව ඇය දුටුවාය. දොර ඉස්මත්තේ "දේශණ ශාලා සඳහා" යනුවෙන් සඳහන්ය. එම දොරට දෙපසින්ම ඉහළට ගමන් කිරීමට පඩිපේලී සකස්කර ඇත. එහි ඉහළට විහිදුනු ඊතල මගින් "භෝජනාගාරය " ලෙස දක්වා තිබුනි. දකුණු පස තාප්පයේ කෙලවර පියන් යොදා නැති දොර කවුලුවක් ඇති බව විශ්වනී දුටුවේ ඒ මොහොතේය. එහි "කාන්තා නේවාසිකාගාරය " යනුවෙන් ලියා තිබූ පුවරුවක් තිබුනි. එයින් ඇතුලුවූ විශ්වනීට දැක ගැනීමට හැකි වුයේ පෙර තිබු කොරිඩෝව මෙන්ම මෙහිද දිගට විහිදි ගිය කොරිඩෝවක් තනා ඇති අයුරුය. එහි දකුණු පසින් තණ භූමියත් වම් පසින් දෙමහල් නේවාසිකාගාරයත් දැක ගැනීමට හැකිවිය. ඉතිං වසර තුනක් පුරාවට ඇයට ගතකරන්නට සිදුවන්නේ මෙහිය. විටෙක දුකකුත් විටෙක සතුටකුත් ඇයගේ සිතට ගලා ආවා ය. ජීවිතයේ පළමුවරට නිවසෙන් බැහැරව වාසය කරන්නට සිදුවීම දුකකි. නමුත් තමන් කැමතිම විෂය හැදෑරීමට ලැබීම ගැන සිතද්දි දැනෙන්නේ පුදුමාකාර සතුටකි. දොරවලට ඉහලින් යොදා ඇති අංක කියවමින් ඈ කොරිඩෝව දිගේ තවත් ඉදිරියට ගියා ය. එක... දෙක.... තුන ඇය විසි එකක් ගැන්නාය. ඉන් පසු ඇත්තේ ඉහලට යාම සඳහාවන පඩිපෙලකි. එයින් ඉහල මහලයට නැඟුනු ඇය තවත් කාමර තුනක් පසුකල විට ඇයගේ අත රැඳි කාඩ්පතෙහි සඳහන් අංකයට අදාල කාමරය දැකගත්තා ය. ඒ අංක විසිපහ කාමරයයි. විශ්වනී එම දොරේ හැඩලය අල්ලා දකුණු පසට කැරකුවා ය. එවිට අගුලු ලා නොතිබූ දොර විවෘත විය කාමරය තුලට පිවිසිවිට ඇය දුටුවේ තවත් ගැහැණු ළමයෙකු සිටින බවය. ඇය කාමරයේ තිබු ඇඳක් මත වාඩිවී සිටියා ය. දොර විවෘත වන හඬින් වහා එදෙස බැලූ තරුණිය විශ්වනී දෙස බලා සිනාවකින් සංග්‍රහ කර සිටියා ය. ඉන් පසු හඬ අවදිකල තරුණිය "ඔයත් මේ කාමරේද?  " විශ්වනීගෙන් විමසුවා ය. විශ්වනි ඔව් යන්න හැඟවෙන පරිදි හිස වනා පිලිතුරු දුන්නා ය. හිඳ සිටි යහනෙන් නැගිට ගත් තරුණිය විශ්වනී පිළිගන්නා ලෙස දක්වමින් ඇය වෙත තමන්ගේ දකුණත දිගු කලා ය. මේ වනවිට දකුණතේ රඳවාගෙන සිටි කාඩ්පත වමතට ගත් විශ්වනීද තමන්ගේ අත ඇය වෙත දිගුකලවිට අත අල්ලා සොලවමින් "ඔයාව ආදරෙන් පිළිගන්නවා අපේ කාමරේට " යැයි කීවා ය. ඒ කතාවට විශ්වනී කලබල වූවා ය. කාමරයටම ඇත්තේ ඇඳන් දෙකක් පමණි. ඉතිං තිදෙනෙක් කාමරයේ රැදෙන්නේ කෙලෙසද? තමන්ට වැරැද්දක් වූවාදැයි ඇය තමන්ගේ අතේ ඇති කාඩ්පත පරික්ෂාකර බැලුවා ය. නැත එහි ඇත්තේ අංක විසිපහය ඒ මේ කාමරයයි. "තව කවුරු හරිත් ඉන්නවාද? " සැක හැර දැනගැනීම පිණිස විශ්වනී එලෙස ඇසුවා ය. එයට හඬනගා සිනාසුනු තරුණිය "නෑ අනේ වෙන කවුරුවත් නෙමේ අපි දෙන්නගේ කාමරය අවුරුදු තුනකට අපි යාළුවෝ වෙන්නයි යන්නේ" කීවාය. වරදවා වටහා ගැනීම ගැන ඇතිවූ ලැජ්ජාව වහා පසෙකට දැමු විශ්වනීත් ඇය සමගම සිනාසෙන්නට වූවා ය.

"මම නුවර මැණිකේ කෙනෙක්. ඔයා කොහේ කෙනෙක්ද? " තරුණිය විශ්වනීගෙන් විමසුවේ නැවතත් ඇඳ මත වාඩි ගන්නා අතරතුරදීය. "මම බදුල්ලේ " විශ්වනී කීවා ය. "ආ... එහෙනම් මෙයා බදුලු කුමාරිහාමි කෙනෙක් නේද?" යළිත් ඇය හයියෙන් සිනාසුනා ය. විශ්වනීට මතක්වූයේ ශෂිකාවය. ඇයද මෙසේමය මොනයම්ම හෝ විහිළුවක් කියා හඬනගා සිනාසුනා ය. හැඩ රුවෙන් ශෂිකාට සමාන නොවුනත් හැසිරීම ඇයට බොහෝ සේ ගැලපෙන බැව් විශ්වනී සිතුවා ය. සම තළෙලුය. නිලට හුරු දෑස්ය. කෙස්වැටිය කලවා දක්වා දිගුය. සිනාසෙනවිට කම්මුල් වල ගැසේ. එය ඇයට අමුතු සුන්දරත්වයක් ඇති කලා ය. කටහඬ ඉතා මියුරුය. අහන් ඉන්නට ආසා හිතේ. හොඳ යාළුවෙක් තමන්ට හිමිවූ බව විශ්වනීට හිතුනා ය. "මගේ නම නිසංසලා මැණිකේ " යැයි ඒ අතරතුර අර තරුණිය තමන්ව හඳුන්වා දුන්නා ය. ඇත්තටම ඈ මැණිකේ කෙනෙකි. මෙතෙක් විශ්වනී සිතා සිටියේ ඇය නුවර නිසා එය විහිළුවට කියුවක් ලෙසය. ඒ කෙසේ වෙතත් නම් තැබීමේදි දෙමව්පියන්ට යම් වැරැද්දක් සිදුවී ඇතැයි විශ්වනී කල්පනා කලා ය. ඇයගේ හැසිරීම කෙසේවත් නිසංසල නොවී ය.

කාමරයේ ඇඳන් දෙකට ඉස්මත්තෙන් ඇඳුම් වැටවල් දෙකක්ද, පැත්තකට වන්නට ලාච්චු සහිත කබඩ් දෙකක්ද, ඒ මැදින්ම නාන කාමරයට යෑම සඳහා වන දොරක්ද සහිතය.

විශ්වනී තමන්ගේ ඇඳුම් බෑග් ඇඳ මත තබා නාන කාමරයේ දොර විවෘත කර බැලුවා ය. බිමට සහ බිත්ති වලට පිඟන් ගඩොල් අල්ලා නාන කාමරය සකස් කර ඇත.දුටු වහාම එය කොතරම් අලංකාරවත් හා පිරිසිදු නාන කාමරයක්දැයි විශ්වනීට සිතුනා ය.

විශ්වනී වැඩිවියට පත්වීමෙන් පසු පියා විසින් පොල් අතුවලින් වට කර ආවරණය කරන ලද නිවස පිටුපස ලිදෙන් පනිට්ටුවට ඇද ගන්නා ජලයෙන් මිස තමන් කවරදාකවත් මෙවැනි නාන කාරයකින් ස්නානය කර නැති බව ඇය සිතුවා ය. මද වේලාවක් එතුල රැඳී උන් විශ්වනී කරාමය විවෘත කර එතුලින් වෑස්සෙන දිය දහරාව දෙස බලා සිටියේ දිය ඇල්ලක අසිරිය සිත්හී දරාගනිමිනි.

යළිත් කාමරය තුලට පැමිණී විශ්වනී බෑගය විවෘත කර චීත්තයක් ගත දවටා තමන් මෙතෙක් ඇඳ සිටි ගවුම ගලවා දැමූවා ය. ඉන්පසු සබන් පෙට්ටියත්, තුවායත් අතට ගත්තා ය. වෙනත් ගවුමක්ද බෑගය තුලින් එළියට ගත් ඇය නාන කාමරය දෙසට යනවිට "අපෝ කුමාරිහාමී තාමාත් දිය රෙද්ද ඇඳගෙනද නාන්නේ " නිසංසලා එසේ කියූ විට විශ්වනීගේ සිත සියුම් ලැජ්ජාවකින් පිරීගියා ය. "එහෙම තමයි ගම්වල ලැජ්ජා බයට හැදුනු ගෑණු ළමයි " විශ්වනී ප්‍රති උත්තරයකින් ඈ නිහඩ කලා ය. හනිකට නාන කාමරයට වැදී දොරවසා ගත් ඇය තුවාය සහ ගවුම සුදු යකඩ වැටේ එල්ලා සබන් පෙට්ටිය කණ්නාඩියක් සවිකල රාක්කය මත තබා වතුර මල යටට වැදුනා ය. ඇය ජීවිතයේ පළමු වරට වතුර මලකින් නෑමේ ආශ්වාදය විඳගත්තා ය.

නැමෙන් පසු ගවුමකින් සැරසුනු ඇය කාමරයට පැමිණි පසු මේ දෙමිතුරියන් තම තමන්ගේ විස්තර ගැන කතිතා කර ගත්තා ය. නිසංසලාගේ පියා ව්‍යාපාරිකයෙකි. මවද රජයේ ඉහළ තනතුරක් දරන්නියකි. ඊට අමතරව ඇයට වැඩිමල් සොයුරෙකු සහ බාල නැගණියක සිටින බව ඇය කිව්වා ය. සොහොයුරා පියාගේ ව්‍යාපාර කටයුතු සඳහා සහය ලබා දෙයි. නැගණිය තවමත් පාසැල් යන වයසේ පසුවෙන්නීය. ඇගේ විස්තර අසා දැනගත් විශ්වනී ඉන් අනතුරුව තමන් ගැන ඇත්ත ඇති සැටියෙන්ම පැවසුවා ය. මෙලෙස ඔවුනොවුන් කතිකා කරගනිමින් රාත්‍රී අට පමණ වනවිට අහාර ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස වූ පණිවිඩයක් කාමරය ඉදිරිපස ඇති ශබ්දවාහිනි යන්ත්‍රය මගින් නිකුත්විනි. ඒ අනුව අළුත් මිතුරියන් දෙදෙනා කතා බස් කරමින්ම කාමරයෙන් පිටත්ව භෝජනාගාරය පිහිටි දෙසට ගමන් කල හ.

ඔවුන් භෝජනාගාරයට යනවිටත් එය සිසුන්ගෙන් පිරි තිබුනි. කෑම මේසය දෙපසින් ඔවුන් පේලි දෙකක් වනසේ පෝලිම් ගැසී සිටිය හ. දෑත් සෝදන කරාමය ආසන්නයේම පිඟන් රාක්කය තිබු අතර එම ස්ථානයෙන් පිඟන් රැගෙන කරාමයෙන් සෝදා පෝලිමට එකතුවීම සිදුකල යුතුය. විශ්වනීලාත් එලෙසම කල හ. කෑම පෝලිමට එකතුවූ ඔවුන් පිඟන්වලට ආහාර බෙදා ගැනීමෙන් පසු ඉඩ ඇති මේසයක් බලා ගොස් වාඩි වූ හ. තමන් දෙස කිසිවෙක් බලා හිඳිනවා යැයි දැණුනු නිසා විශ්වනී කෑම ගන්නා අතරවාරයේම හිස ඔසවා ඉදිරිපිට දෙස බැලුවා ය. ඇය සිතුවා නිවැරදිය ඉදිරිපස මේසයේ ආහාර ගනිමින් සිටි පිරිමි ළමයෙකු ඈ දෙස බලා සිටියේ ය. ඇගේ දෙනෙත ඔහුගේ දෙනෙත් සමග ගැටෙනවිටම තරුණයා අහිංසක සිනාවකින් ඇයට සංග්‍රහ කොට නැවතත් තමන්ගේ කෑම පිඟාන දෙසට දෙනෙත් යොමු කර ගත්තේ ය. විශ්වනීත් යාන්තමට සිනාසී නැවතත් දෙනෙත බිමට නැඹුරු කරගනිමින් හෙමින් සැරේ ආහාර භුක්ති විඳින්නට වුනා ය.

ආහාර ගන්නා අතරම විශ්වනී කිහිප අවස්ථාවක් ඔහු දෙස නිරික්ෂණාත්මක බැලුවා ය. ඒ සෑම මොහොතකම ඔහුද ඈ දෙස බලමින් උන්නේ ය. දොඩමලුවන දෙනෙත තද කලු පැහැයෙන් දිස්න දෙමින් තිබේ. තද කලු කොණ්ඩය බොකුටුය. රවුම් හැඩැති මුහුණ දැලි රැවුලෙන් හැඩවී ඇත. මුවඟ රැඳුනු සිනාව ඕනෑම කෙනෙකු වශී කරවන සුළුය. කඩවසම් පෙනුමක් ඔහු තුලින් දිස්වන බව විශ්වනී සිතුවා ය. ආහාර ගැනීමෙන් පසු ඔවුන් භෝජනාගාරයෙන් පිටත්ව නේවාසිකාගාරය පිහිටි දෙසට පියමනින්නට වූ හ. කාමරයට ගිය මේ මිතුරියන් දෙදෙනා තවත් මොහොතක් තමන්ගේ ආගිය විස්තර කතාකරමින් පසුවූ හ. පාසල් යන අවධියේ සිට තමන්ට පෙම්වතෙකු සිටින බව නිසංසලා කීවා ය. ජගත් ගැන නිසංසලාට හෙලි නොකරන්නැයි තමන්ගේ සිත තමන්ට බලකර සිටියා යැයි ඇය සිතුවා ය. ඒ අයිද යන්න ඈ වැඩිදුරටත් කල්පනා කලද එයට නිසි පිලිතුරක් සොයාගන්නටනම් ඇය අපොහොසත් වූවා ය.

දහහතරවන පරිච්ඡේදය:

පසුදා උදෑසනින්ම අවදිවූ විශ්වනී මුහුණ කට සොදා ගැනීමෙන් පසු එතෙක් සුවබර නින්දේ පසුවූ නිසංසලාව අවදි කලා ය. නිදි ගැට හැර පියා අවදීවූ නිසංසලා නිදිබර දෑසීන්ම බලා "සුභ උදෑසනක්! " පැතුවා ය. එයට පිළිතුරු ලෙස විශ්වනීද "සුභ උදෑසනක් " කීවා ය. නිසංසලා නිදිමත ගතියෙන්ම නාන කාමරයට වැඳුනු අතර විශ්වනී තමන් මෙතෙක් හැඳ සිටි සැහැල්ලු රාත්‍රී ඇඳුම උනා දමා අළුත්ම ගවුමකින් සැරසුනා ය. මූණ කට සොදා පිරිසිදුවී යළිත් කාමරයට පැමිණි නිසංසලා විශ්වනීගේ හිස් මුදුනේ සිට පාදන්තය දක්වාත් නැවත පහල සිට ඉහළටත් දෙනෙත් යොමුකර "අප්පේ... මෙයාගේ ලස්සන. හරියට රෝස මලක් වගේ  " කිව්වා ය. විශ්වනීගේ ගත සහින් කිතියකින් සලිතවූවා වැනිය. තමන්ගේ රූ සොබාව ගැන ඇගේ හිතට දැණුනේ ආඩම්බරකාරි හැඟීමකි. "අනේ ඉන්න නිකන් බොරු නොකියා ඔයා මාව මුරුංගා අත්තේ තියන්න නේද හදන්නේ " "නෑ ඇත්තමයි විශී ඔයා ලස්සනයි ඔය ගවුමට තවත් ලස්සනයි. මට පුදුම මෙච්චර ලස්සන කෙල්ලෙකුට කොල්ලෙක් නෑ කියන එක ගැනයි." "මොකෝ නැත්තේ මටත් ඉන්නවා කෙනෙක් " විශ්වනී හිතෙන් හිතුවත් "හා හා ඉක්මනට ලැහැස්ති වෙලා යං තේ බොන්න " කියා කතාවෙන් මග හැරියා ය.

භෝජනාගාරය ආසන්නයට පැමිණිවිට එහි දොර අභියස දැන්වීම් පුවරුවක "සියළුම ළමුන් උදෑසන ආහාර ගැනීමෙන් පසු පෙරවරු 09ට ප්‍රධාන රැස්වීම් ශාලාවට පැමිනෙන්න - ප්‍රධාන ආයතන භාරකරු " යනුවෙන් දැන්වීමක් අලවා තිබෙනු දක්නා ලදි. උදෑසන ආහාර පෙරවරු 08 වනවිට සකස් කර තිබූ අතර ආහාර ගැනීමෙන් පසු ඔවුන් නැවතත් තමන්ගේ කාමරයට පැමිණිය හ. මද වේලාවකට පසු ශබ්ද විකාශන යන්ත්‍රය මගින්ද පෙර දැන්වීම විකාශණය කලේය.

නවයට ආසන්න වනවිට ඔවුන් දේශනශාලා පිහිටි දෙසට ගමන් කල හ. එහි වම්පසින් අංක එක... දෙක.... තුන යනුවෙන් සදහන් දේශන ශාලා තුනක් තිබූ අතර ඒවා පළමු වසර, දෙවන වසර හා තුන්වන වසර සිසුන් සඳහා පිළිවෙලින් වෙන්කර ඇති බව ඔවුන්ට දැනගන්නට ලැබිනී. එම දේශන ශාලාවලට ඉදිරිපසින් මද දුරකට වන්නට දෙමහල් ගොඩනැගිල්ලකි. එහි පහත මාලය ප්‍රධාන රැස්වීම් ශාලාව සඳහාත්, ඉහළ මහල ප්‍රධාන කාර්යාලය සහ දේශකයන්ගේ නේවාසිකාගාරය ලෙසත් වෙන්කර තිබුනි.

දේශන ශාලා හා ප්‍රධාන රැස්වීම් ශාලාව සහිත ගොඩනැගිල්ල අතර භූමිය විසිතුරු මල් වවා හැඩකර තිබුනි. එහි කෙළෙවරකට වන්නට නිල්මහනෙල් මලින් පිරීගිය ජල පොකුණක්ද, ඒ වටා ඇති තුරු සෙවන් යට ගල් බංකු කිහිපයක්ද දක්නට ලැබුනි. මේ සියළු දේ දැක බලා ගනිමින් මිතුරියන් දෙදෙනා ගල් අතුරා සකස් කරන ලද පාරක් ඔස්සේ ප්‍රධාන රැස්වීම් ශාලාවට ප්‍රවිශ්ඨ වූ හ. ඒ වනවිටත් සිසුන් පිරිසක් එහි අසුන් ගෙන සිටිය අතර විශ්වනී හාත්පස විපරම් කෙරුවේ පෙරදා රාත්‍රියේ භෝජනාගාරයේදී දුටු රුව දැක ගැනීමේ අටියෙනි. කුමන ඉසව්වකවත් ඔහුව දැකගන්නට නොහැකිවූ නිසා තවමත් රැස්වීම් ශාලාවට ඔහු පැමිණ නැති බව ඇය සිතුවා ය. ඒ සමගම ශාලාව සිසුන්ගෙන් පිරී ඉතිරි ගිය හ. පෙරදා රාත්‍රි නොදුටු බොහෝ පිරිසක්ද එහි ඇති බව විශ්වනී වටහා ගත්තාය. ඒ නිසා ඒ පිළිබදව තම මිතුරියගෙන් විමසා සිටි අතර ඇය කියා සිටියේ ආයතනයේ නේවාසිකාගාර සඳහා වියදම අධික බැවින් බොහෝ සිසුන් පිටස්තර නිවාස වල බෝඩිම් වී ඇති බවත් සමහර සිසුන් ආසන්නයේ පදිංචි අය නිසා ඔවුන්ගේම නිවාස වල සිට මෙහි එන බවයි. එය දැන ගත් වහාම තමන්ටත් පිටස්තර බෝඩිමක් සොයාගත හැකිනම් තමන් වෙනුවෙන් පියාට දරන්නට වන වියදම අඩුකර ගැනීමට හැකි බව ඇය කල්පනා කලාය. "මටත් පිටින් බෝඩිමක් හොයා ගන්න පුළුවන්නම් " ඇය නිසංසලාට කීවා ය. ඒ ඇසිමෙන් යම් දුකක් සිතට ඇතුළුවුවත් මිතුරිය ගැන සිතු නිසංසලා "අපි එළියට යන වෙලාවක හොයලා බලමු " කියා  විශ්වනිගේ හිත සැනසුවා ය.

මේ වනවිට සියලුම සිසුන් ශාලාවේ අසුන් ගෙන ඇති නිසා පෙරදා රැයේ දුටු  ඔහු කොතනක හෝ රැඳී ඉන්නවා විය හැකිය. කොතනක සිටියත් තමන් පිළිබද විපරම් කරනවා වන්නටද පුළුවන. එම සිතුවිල්ලත් සමග විශ්වනීගේ සිත සියුම් සතුටකින් පීරිගාන්නට වුනා ය. සිරුරේ හිරිගඬු පිපුනා ය. ඒත් සමගම ඇයට ජගත් ගැන මතකයට නැඟුනේ තමන් සිතුවිල්ලකින් හෝ ඔහුට වැරැද්දක් කරනවා නොවේදැයි යන සිතුවිල්ලක්ද සමගිනි. එවන් පරිසරයක තමක්ගේ සිත ආයාසයෙන් මැඩ ගැනීම සඳහා විශ්වනී තනිවම මහත් සටනක නියැලෙමින් සිටියා ය.

ඒ වනවිට ආයතනයේ ප්‍රධාන භාරකරු අතුළු දේශකයින් ප්‍රධාන පීඨීකාවට පැමිණ සිටිය හ. නවය පසුවූවා පමණි ප්‍රධාන භාරකරු සියළු දෙනාට නිශ්ශබ්ද වන්නැයි ඉල්ලා සිටියේ ය. මෙතෙක් ඝෝෂාකාරිව තිබූ ශාලාව මීයට පිම්බාක් මෙන් නිහඬ බව පැතිර ගියේ ය. පැමිණි සියළු දෙනාව පිලිගත් ප්‍රධාන භාරකරු  "ආයතනයේ මුල්ම පාඩම වෙලාවට වැඩ කිරීමයි. ඉතිං අද දවසේ සියළු දෙනාම එයට අනුගත වෙමින් කටයුතු කිරීම සම්බන්ධව මුලින්ම ඔබ සියළු දෙනාට ස්තුතීය පුදකරන්නට කැමතියි. අධ්‍යාපනයේදී පමණක් නොව මුළු ජීවිත කාලය පුරාවටම එය රැක ගැනීමට වෙහෙසවිය යුතුයි. රටේ වැදගත් තනතුරු දරණ බොහෝ පිරිසක් අප ආයතනයෙන් සමාජයට මුදා හැර ලබා ගත් ගෞරවය සුළුපටු නොවේ. අද මේ ස්ථානයේ සිටින ඔබද හෙට දවසේ එවන් සාර්ථකත්වයකට පත් කිරීම අප වෙත පැවරී ඇති භාරධූර වගකීමකි. ඒ වගකීම ඉෂ්ඨ සිද්ධ කරගැනීම සඳහා ඔබ වෙත පැවරි ඇති යුතුකම් කොටසද සුළුපටු නොවේ. "

"ඉතිං ප්‍රිය සිසු සිසුවියනී, අදින් ආරම්භවන අධ්‍යාපන වර්ෂය අප සමග වසර දෙකක කාලයක් උන් අයගේ අවසන් වර්ෂය වනවිට වසරක කාලයක් අප සමග ගත කල අයට දෙවන ඉගැන්වීම් වාරය ආරම්භ වෙනවා වඩා වැදගත් වන්නේ අප සමග අළුතින්ම එක්වන කණ්ඩායමයි ඔවුන් මෙම ආයතනයේ ගෞරවය ආරක්ෂා වන අයුරින් මෙහි ගත කරනු ඇතැයි අප විශ්වාස කරනවා එමෙන්ම මෙම ආයතනය තුල වන නීති රීති පිළිබදවත් අප වරින් වර ඔබව දැනුවත් කිරීමට කටයුතු කරන අතර ඔබගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් ඇසුරු කිරීම තුලින් ඒ පිළිබදව ඔබ වඩාත් දැනුවත් වනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි. "

"විශේෂයෙන්ම ඔබගේ දෙමව්පියන් ඔබව මේ තැනට රැගෙන එන්නට දරන ලද මහන්සියටත් මේ සඳහා වියදම් කරනු ලබන වෙහෙසවී හරි හම්බ කල දේටත් ඔබ සාධාරණයක් කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. වියදම් පිළිබදව කතා කල නිසාම ඔබට තවත් යමක් දැනුවත් කලයුතුයැයි මාගේ හැඟීමයි. මෙතන ඉන්නා බොහෝ අයගේ දෙමව්පියන් ඉතා දුකසේ ජීවිත ගෙවන අයවලුන් බව අප ඉතාම හොඳින් දන්නා කරුණක් අප මෙම ආයතනය පවත්වාගෙන යනු ලබන්නේ මුදල් හම්බ කිරීමේ පරමාර්ථය පෙරදැරිව නොවන බව මුලින්ම ඔබට කිවයුතුයි. "

ඒ අතර තවත් බොහෝ දෑ පිළිබදව ආයතන භාරකරුගේ කතාවට පාදක වූ අතර සතියේ ඉරිදා දින පොහොය දින නිවාඩු ලබා දෙන බැවින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා නගරයට යෑමට අවසරය හිමි වන බවත්, එසේ වුවත් තනිව ගමන් බිමන් යෑමට අවසරයක් නොමැති බවත් දැනුම් දුන්නේ ය. ඊට අමතරව මාස හතරකට වරක් සතියක නිවාඩු කාලයක් ලබා දෙන බැවින් සිසුන්ට තමන්ගේ නිවාස වෙත යෑමට හැකි බවත් දැනුම් දුන්නේ ය.

පසුව අදාල විෂයන්  ඉගැන්වීම් කරන දේශකයන් පිළිබදවද හදුන්වා දුන් අතර හෙට සිට අධ්‍යයන කටයුතු ආරම්භ වන බැවින් අද දවසේ ඔවුනොවුන් හදුනා ගැනීම සඳහා සාමුහික ක්‍රියාකාරකම් වල නියැලිය හැකි බවත් කිව්වේ ය.

රැස්වීම අවසාන්වූ වහාම විශ්වනී නිසංසලාවද ඇදගෙන එළිමහනේ ඇති නිල්මහනෙල් පොකුණ ඇති දිසාවට ගියා ය. සිහිල් සෙවනේ ගල් බංකුවක් මත හිඳගත් ඔවුන් අවට සිරි නරඹමින් විහිළු තහළු කරමින් කාලය ගත කලා ය. මොහොතකට පසු අර තරුණයා ඔවුන් සිටින දිහාවට එමින් සිටින බව විශ්වනී දුරදීම දුටුවා ය. නිසංසලාගේ ඇලපතට අතින් තට්ටුවක් දමා ඇය තමන් දෙස බලද්දි දෙනෙතෙන් ඉඟි කොට ඇයට ඔහුව පෙන්වුවා ය. සුපුරුදු සිනාවෙන්ම ඔවුන් අසලට පැමිණි ඔහු "ඉතිං කොහොමද? දෙන්නා සිරි නරඹනවද? " කියා ඇසුවේ ය. "හ්ම් " පිලිතුර නිසංසලාගෙනි. "මගේ නම විශ්ව මගේ ගම මහවැව " ඔහු තමන්ව හදුන්වා දුන්නේ ය. විශ්ව විශ්වනී පුදුම හමුවීමක් යැයි විශ්වනීට සිතුනා ය. "මාරයිනේ...... ඔයා දන්නවද මෙයාගේ නම විශ්වනී. විශ්ව, විශ්වනි නියමෙටම ගැලපෙනවා නේද? " නිසංසලා කල විහිළුවට විශ්වනීගේ දෙකොපුල් ලැජ්ජාවෙන් රතු වුනා ය. විශ්ව සිතුවේ ඇය බොරුවක් කිවා යනුවෙනුයි. ඒ නිසා ප්‍රශ්ණාර්ථයක් සහිත බැල්මක් විශ්වනී දෙසට යොමු කලේ ය. විශ්වනී එයට හිස වනා සත්‍යයයි හඟවා සිටියා ය. එවිට ඔහුගේ මුවේ රැදුනේ මනමාල හිනාවක්දැයි විශ්වනීට සිතා ගැනීමට නුපුළුවන්විය.

"මම දෙවන වසරේ ඉගෙන ගන්න කෙනෙක් ඔයාලනම් පළවෙනි වසරනේ. ඉතිං ඔයාලගේ අනිත් විස්තර මොනවද? " ඒ අහන හැම දේකටම උත්තර දුන්නේ නිසංසලා විසිනි. "මම නුවර මැණිකේ කෙනෙක් මෙයා බදුල්ලේ කුමාරිහාමි කෙනෙක් " ඇය සුපුරුදු විහිළුව ඔහුටත් කලා ය. ඇය ගැන සම්පූර්ණ විස්තරයද විශ්වනී ගැන ඊයේ දැනගත් තොරතුරුද ඇය ඔහුට සැලකලා ය. "මොකද මෙයා ගොළුද? කතා කරන්නේ නැත්තේ නැත්නම් කටහඬ අහපුවාම වස් වදියි කියලා හිතුවද දන්නේ නෑ "

මෙලෙස කතා බහ කරමින් සිටින අතර දිවා ආහාරය සඳහා පැමිණෙන්නැයි සදහන් පණිවිඩය විකාශය වුයෙන් ඔවුන් උන් තැනින් නැගිට නේවාසිකාගාර ඇති පැත්තට ගමන් කරන්නට වූ හ. "කෑමෙන් පස්සේ මොකද කරන්නේ? " යන අතරමග විශ්ව ඇසුවේ ය. නිසංසලා ඊට උත්තර සැපයුවා ය. "පොකුණ පැත්තට ආයෙත් එනවා " තමන්ට කතා කරන්නට අවස්ථාවක් නොදී හැම දේකටම පැන පැන උත්තර දීම ගැන විශ්වනීට නිසංසලා ගැන කේන්තියක්ද මතුව ආවා ය. සමහරවිට එය සියුම් ඉරිසියාවක්ද වන්නට පුළුවන.

දිවා ආහාරයෙන් පසු ටික වේලාවක් කාමරයේ සිටි මිතුරියන් දෙදෙනා ඇගපත සෝදා වෙනත් ඇඳුමකින් සැරසී පොකුණ ඇති දිහාවට ඇවිද ගියේ විශ්වට වූ පොරොන්දුව මතක් වීමෙන් අනතුරුවය. ඔවුන් එහි යනවිටත් විශ්ව කලින්ම එතනට පැමිණ ඇති බව ඔවුන් දුරදීම දැක ගත් හ. සවස තේ පානයටවත් නොගිය ඔවුන් තම තමන්ගේ තවත් විස්තර කතා කරමින් සවස් වන තෙක්ම එතන ගත කල හ. ඔවුන් සමුගත්තේ නොකර බැරි නිසා වන්නට පුළුවන.

රාත්‍රී ආහාර ගැනීමෙන් පසු තවත් මොහොතක් අවදියෙන් සිටි විශ්වනී නිදි යහනට ගොඩ වැදුනා ය. විශ්ව ගැනවූ සිතුවිලි අතර පියමනිමින් සිටි ඇයට නොදැනීම නින්ද ගොස් තිබුනා ය. විශ්ව සිනාසෙමින් ඈ දෙස බලා සිටින අතර ජගත් ඊට පිටුපසින් හිඳිමින් අසරණ ලෙස ඇයට ආයාචනය කරමින් සිටියා ය. ඇය විශ්ව පසුකරමින් ඇවිද යන්නට සුදානම් වූවාය. විශ්ව තමන්ගේ අත ඇයට දිගු කලේ ය. ජගත්ද අත දිගුකරමින් සිටී. ඇය සිටින්නේ තුංමං හන්දියේය. නුග ගස ලග සුදු ඇඳගත් පුද්ගලයා විශ්වනී දෙස බලාගෙනම උන්නේ ය. ඇය ඔහු දෙස බලනවිට ඔහු ජගත් දෙස බැලුවේ ය. ඔහුගේ ඉඟිය වහා වටහා ගත් විශ්වනී ජගත් සිටින දෙසට ඇවිද යන්නට සුදානම් වූවා පමණි විශ්ව මහා හඬින් හඬන්නට පටන් ගත්තේ ය. ඉවසාගත නොහැකි දුකකින් ඇගේ සිත පිරි ගියා ය. ඇයත් උන් තැනම නතරව හඬන්නට වූවා ය. කොහේදෝ සිට අම්මා "විශ්වනී "   කියා අඬගැසුවා ය.

දෑස් හැර බලනවිට නිසංසලා ඇඳ ළග හිදිමින් ඇයට කතා කලා ය. "මොකෝ මේ ඔයා හීනෙන් බයවුනාද? ". "අම්මාව හිනෙන් දැක්කා " ඇය උත්තර දුන්නා ය. "පංසිල් අරන් නිඳාගන්න එතකොට හිනෙන් බය වෙන්නේ නෑ " නිසංසලා පවසා නැවතත් තමන්ගේ ඇඳ වෙත ගියා ය. විශ්වනීගේ සිත දෙගෙඩියාවක පැටලිලා ය. ඒ ගැන සිතමින් ඈ බොහෝ වේලාවක් නිදි වර්ජිතව සිටියා ය. දැනගත් පරිදි විශ්ව යනු ව්‍යාපාරික පවුලක එකම දරුවා ඔහුය. එදා නාදුණන සාත්තර කරුවා කියූ පරිදිත් නම් තැබීමේදි විහාරයේ හිමිනම කීවායැයි මව කියූ කතාවත් සලකා බැලීමේදි විශ්වනි මහා ධනස්කන්දයකට උරුමකම් කිව යුතුය. විශ්වව මුණ ගැසීම තුලින් ඉටුවන්නට යන්නේ ඒ අනාවැකියදැයි ඇය කල්පනා කලා ය. අනිත් අතින් බලන කල ජගත් යනු සාමාන්‍ය රැකියාවක නියැලෙන්නෙකි. ඔහු විවාහවීමෙන් ඉන්න තැනින් අඩියක්වත් ඉහළට යා නොහැක. මෙවැනි දෙගෙඩියාවක් සහිත සිතුවිලි විශ්වනීගේ සිත පහුරු ගෑවා ය.

පසුදා අධ්‍යයන කටයුතු උදෑසන අටට ආරම්භ කෙරුනි. එය අවසන් වූයේ සවස පහට පමණය. ඒ අතර කාලය තුල තේ සහ ආහාර සඳහා පමණක් විවේක කාල ලබා දුන්නේය. රාත්‍රිය පාඩම් කිරීම සඳහා යොදවන්නට සිදුවීමෙන් වෙනත් බාහිර දේවල් ගැන සිතන්නට කාලයක් නොවුනි. ඒ සතිය පුරාම ගෙවුනේ එකම ලෙසකටය. විශ්වව දැකගැනීමට හැකිවූයේත් අවස්ථා කීපයකදි පමණි. සෙනසුරාදා පන්ති දෙක පමණ වනවිට අවසන් වීම නිසා විශ්ව සමග දොඩමළු වන්නට කාලයක් උදාවිය. "හෙට නගරයට යනවාද? " කියා විශ්ව ඇසුවේ ය. "ඔව් යන්න ඕනා " විශ්වනී කෙටියෙන් උත්තර දුන්නා ය. "එහෙනම් මාත් එන්නම් ඔයාලා එක්ක යන්න " . "හා" විශ්වනි නිසංසලාට වඩා ඉක්මන් වුනා ය.

පහලොස්වන පරිච්ඡේදය:

විශ්ව ආයතනයට පැමිණ තිබුනේ යතුරු පැදියකිනි. ඒ බව ඔහු මීට පෙර විශ්වනීලාට කියා ඇත. එපමණක් නොවේ සෑම සෙනසුරාදා දිනකම දේශණ අවසන් වූ පසුව ඔහු එහි නැඟී තමන්ගේ නිවසට යන අතර නැවතත් ඉරිදා හවස ආයතනයට පැමිණිම සුපුරුදු කාර්යක් ලෙස පසුගිය වසර පුරාවටම සිදුකර ඇත. නමුත් අද ඔහු නිවෙසට නොගොස්  මෙහිම රැදි සිට ඔවුන් සමග පයින්ම ගමනට එකතු වුනේ ය. ඒ ඇයිද යන්න විශ්වනි අඩමානයට මෙන් සිතා තිබුනි. සමහරවිටක නිසංසලාද එය වටහාගෙන ඇති බව ඇගේ වචන සහ හැසිරීමෙන් හඟවා ඇත. "අපරාදේ ඔයා අපි හින්දා කට්ට කනවා බයික් එකේ යන්න තිබුණනේ " නිසංසලා යන අතරමග ඔහුට කිව්වා ය. "ඔයාලත් පයින්නේ ඒ හින්දා මමත් පයින්ම යනවා " ඔවුන් කතා බස් කරමින් කුරුණෑගලට විරුද්ධ දිශාවට ගමන් කලේ ආසන්නයේ උප නගරයක් ඇති බව අසා තිබු නිසාවෙනි. යන අතරමගදි විශ්වනී නිසංසලාට තමන්ගේ හිතේ ඇති බෝඩිමක් ගැන අදහස නැවත මතක් කලා ය. නිසංසලා ඒ පිළිබදව විශ්වගෙන් විමසුවා ය. විශ්ව කියා සිටියේ මේ කිට්ටුවකින් බෝඩිමක් සොයාගැනීම කස්තුරි සොයනවාටත් වඩා අමාරු කාර්‍යයක් බවය. සියළු නිවාස බෝඩිම් කරුවන්ගෙන් පිරී ඉතිරි ඇතිබව තවදුරටත් ඔහු කිව්වේ ය. මද දුරක් ගමන් ගන්නා අතරවාරයේ විශ්වනී මනරම් නිවහනක් දුටුවා ය. එය පිහිටා තිබුනේ ආයතනයේ සිට කිලෝ මීටර් භාගයක පමණ දුරකට වන්නට ආයතනය පිහිටි පැත්තේමය. හරියටම කිව්වොත් දකුණු අත පැත්තෙනි. විශාල පොල්වත්තක් මැද නිවස පිහිටා තිබූ අතර ඉදිරියෙන් හරිතවන් වෙල් යායක් ලෙල දුන්නේය. වෙල් යාය මැදින් නිවසට යන පාර සකස් කර තිබූ අතර දෙපස මල් වැටක් දක්නට ලැබුනි. මේ සියල්ල විශ්වනීගේ දෙනෙතට එක්කලේ මනස්කාන්ත දර්ශනයක් විලාසයෙනි.

"හරි ලස්සන ගෙයක්" විශ්වනී අනෙක් දෙදෙනාගේ අවදානය එදෙසට යොමු කලා ය. "ගේ නම් ලස්සනයි තමයි ඒ උනාට ඔය ගෙදර අයිතිකාරයානම් අන්තිමයි" විශ්ව කියා සිටියේ ය. "ඇයි ඒ ඔයා එහෙම කියන්නේ?" විශ්වනී වැඩිදුර දැනගන්නා අටියෙන් විශ්වගෙන් විමසුවාය. "ගෙදර වැඩකාරයෝ එක්ක මිසක් මිනිහා කාත් එක්කලවත් කතාවට කැමති නෑ. කාත් එක්කවත් ආශ්‍රයකුත් නෑ. අපේ ළමයි වගයක් බෝඩිමක් හොයාගෙන ඔය ගෙදරට ගිහින් තිබුනා. මෙහේ කුලියට දෙන්න කාමර නෑ කියලා ". "ඉතිං ඔයත් ගියාද?" විශ්වනී නැවත විමසුවා ය. "නෑ මමනම් ගියේ නෑ ගිය කට්ටිය එහෙම කියනවා ඇහුනා"

"එවෙලාවේ ඒ මනුස්සයා මොකක් හරි ප්‍රශ්ණෙක ඉන්න ඇති දැන් සමහරවිට වෙනස් වෙලාද දන්නේ නෑ අපි පොඩ්ඩක් අහලා බලමුද?" විශ්වනී එලෙස කිව්වා ය.. "හරි එහෙමනම් අපි ආපහු යන ගමන් බලමු" විශ්ව එසේ කීවේ ඒ වනවිටත් ඔවුන් නිවස පසුකර බොහෝ දුරක් ගෙවා තිබීම නිසාවෙනි.

නගරයට ගොස් අවශ්‍ය දෑ මිළදී ගත් ඔවුන් නැවත එන ගමනේදී ඉදිරිපස ගේට්ටුව විවෘත කර ගනිමින් අර ලස්සන නිවස දෙසට පියමනින්නට වූ හ. විශ්වනීගේ හිතේ තිබුනේ වචන වලින් විස්තර කරන්නට බැරි තරමේ චකිතයකි.

නිවස දක්වා ඒමේදි මිදුලේ හුන් වයස අවුරුදු හැත්තෑවක් තරම් වයසැති නමුත් සුන්දර පෙනුමක් ඇති කාන්තාවක් ඔවුන් සමග සිනාසුනා ය. ප්‍රශ්ණාර්ථයක් මුහුණේ සටහන් කරගනිමින් විමසිලිමත්ව ඔවුන් දෙස බැලූ ඇය "ඇයි කාව හම්බ වෙන්නද?" යැයි ඔවුන්ගේ විමසුවා ය. "මුදලාලි ඉන්නවද?" ඇසුවේ විශ්වය. "මුදලාලිනම් ගමනක් ගිහින් එන්න හවස් වෙයි කාරණාව කිව්වොත් මම මුදලාලිට කියලා තියන්නම්. එහෙම නැත්නම් හෙට එන්න" ඇය ඔවුන්ට දැණුම් දුන්නා ය.

තමන් පුහුණු ආයතනයේ ඉගෙණුම ලබන අය බවත්, නේවාසික ගාස්තු දැරිය නොහැකි නිසා කුළියට කාමරයක් සොයන බවත්, කාමරය සොයන්නේ තමන්ගේ මිතුරියට බවත්, විශ්වනීව පෙන්වමින් නිසංසලා කියා සිටියා ය. එයට හොඳින් සවන් දුන් ගේ හිමි කාන්තාව "අපේ ගෙදරනම් කාවවත් බෝඩිම් කරගන්නේ නෑ. මහත්තයා පිට අය ඉන්නවට එච්චර කැමති නෑ. මම මහත්තයාට කියලා බලන්නම් " ඇය ගනන් නොගෙනම එසේ කීවත් විශ්වනී දෙස නැවතත් හැරි බලා "මේ දරුවා කොහෙද? " යැයි විමසුවා ය. "මම බදුල්ලේ " විශ්වනී උත්තර දුන්නා ය. "අම්මා තාත්තා ඉන්නවද? එයාලා මොකද කරන්නේ? " ඇය නැවතත් ප්‍රශ්ණ කලා ය. විශ්වනී ඒ පිළිබද සියලු විස්තර ඇය වෙත කියා සිටියා ය. "වෙන කවුද ගෙදර ඉන්නේ සියලා ආච්චිලා එහෙම? " එක දිගටම ඇය ප්‍රශ්ණ කරද්දි විශ්වනීට හිතට කේනතියකුත් ඇතුළු වුනා ය. නමුත් තමන් දන්නා දේවල් ගැන ඇය නොසඟවා පැවසුවා ය. මේ සියළු කතා අස්සේ ඇගේ ස්වරූපය වෙනස්වන බව විශ්වනී සියුම්ව නිරීක්ෂණය කලා ය. යම් ආකාරයකින් එය සුභදායි වීමටද හැකි බව ඈ විශ්වාස කලා ය.  "හොඳයි ඔයාලා හෙට එන්න මම මුදලාලිට කියලා තියන්නම්. සමහරවිට මේ දැරිවිව දැක්කම මුදලාලිගේ හිතත් වෙනස් වෙන්න පුළුවන් " ඇය ඔවුන්ට එලෙස පැවසුවා ය. "නෑ අපි ආපහු ලබන ඉරිදා එන්නම්. එදාට මුදලාලි ඉඳියි නේද? " උත්තර දුන්නේ විශ්වනී විසිනි. "ඔව් එදාට එන්න මම මුදලාලිට කියලා තියන්නම්. කතාවෙන් කතාව මුකුත් බොන්න දෙන්නවත් බැරි උනා අපි තේ එකක් බොමු" ඇය ඔවුන්ගෙන් ඉල්ලා සිටියා ය. "ආ ඒකට කමක් නෑ අපි ආයෙත් ආපුවහම තේ එකක් බොන්න බැරියෑ. ඒ හින්දා අපි ගිහින් එන්නම් " විශ්ව එසේ කියා ආපහු යන්නට සුදානම් වුනේ ය.

ඔවුන් මහ පාරට එනතුරුම පැවතුනේ නිහඬතාවයකි. "මුදලාලි වගේ නෙමේ මුදලාලි නෝනානම් හොඳයි වගේ. ඒ උනාට මුදලාලි මොනවා කියයිද කවුද දන්නේ" විශ්ව සැකයෙන් මෙන් පැවසුවේ ය. "හරි අපි මොනවා වෙන්නත් ලබන ඉරිදා ගිහින් බලමුකෝ" නිසංසලා විශ්වට උත්තර සැපයුවා ය.

නැවත පුහුණු ආයතනයට පැමිණි පසු විශ්වනීට දැනගන්නට ලැබුනේ ඇයට දුරකථන පණිවිඩයක් ලැබුනු බවය. ඇය නොමැති නිසා නැවතත් සවස තුනට කතා කරන බව දන්වා තිබුනි. "සමහරවිට ජගත් වෙන්න ඇති" විශ්වනී එසේ සිතුවා ය. ඔව් ඇය සිතුවා නිවැරදිය. සවස තුනට නැවතත් ඔහු දුරකථනයෙන් කතා කලේ ය. ඇයට සුභ පැතුවේ ය, ආදරෙයි කිව්වේ ය. ගෙදර විස්තරද දැණුම් දුන්නේ ය. විශ්වනී බෝඩිමේ කතාව ජගත්ට පැවසූ අතර ඔහු ඊට එකඟවීම ඇයට මහත් සැනසිල්ලක්ම විය. ඒ අතර ශෂිකා ගැන විමසන්නටද ඇය අමතක නොකලා ය. ඒ අතරම තමන් සමග එකම කාමරයේ සිටින නිසංසලා ගැන පමණක් නොව විශ්ව ගැනත් කිව්වා ය. ඔහුව හදුන්වා දුන්නේ ඉහල පන්තියක සිටින හිත හොඳ අයියා කෙනෙක් කියලා ය.

ඊළග සතියත් ගෙවී ගිහින් ඉරිදා දිනය උදා වුනි. විශ්වනී මේ දිනය ගැන අඟිලි ගනිමින් සිටියා ය. පෙරවරු දහයට පමණ විශ්වනී නිසංසලාත්, විශ්වත් සමග ලස්සන නිවස බලා ගියේ සුභවාදි බලාපොරොත්තු ගොන්නක් සිත්හී දරාගනිමිනි. ගේට්ටුවෙන් ඇතුළුවීමේදීම ඔවුන් මිදුලේ නවතා ඇති සුදු පැහැති මෝටර් රථය දුටුව හ. ඒ නිසා මුදලාලි නිවසේ ඇතැයි ඔවුන් විශ්වාස කල හ. ඔවුන් නිවස අසලට යනවිට නිවසේ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක විවේක සුවයෙන් සිටින වයස අවුරුදු හැත්තෑව ඉක්මවූ පිරිමි අයෙකු ඈතදීම දැක ගත් හ. උඩු රැවුල වවා උඩට කරකවා තිබීමෙන් ඔහු තුලින් දිස්වූයේ දඩබ්බර බවකි. ඔහු දුටු වහාම තමන්ගේ බලාපොරොත්තුව ඉටු නොවනු ඇතැයි විශ්වනීට ක්ෂණික අදහසක් පහල වූවා ය.

නමුත් නිවස දෙසට පැමිණෙන මේ පිරිස දෙස ඔහු බැලුවේ හදුණන පිරිසක් නිවසට පැමිණෙනවා වැනි සුහඳශීලි සිනාවක් මුව පුරා දරාගනිමිනි. එයනම් විශ්වනීට මහත් අස්වැසිල්ලක්ම වූවා ය. "අපි ගිය ඉරිදත් ආවා මුදලාලි හිටියේ නෑ " විශ්ව ඉස්සර වුනේ ය. "ඔව් මට හාමිනේ කිව්වා ඔය ළමයි වාඩි වෙන්නකෝ අපි වාඩිවෙලාම කතා කරමු " මුදලාලි ගැන විශ්වත් මුදලාලි හාමිනේත් කියු කතා බොරුවක් බව විශ්වනී සිතුවා ය. "හාමිනේ මෙන්න අර ළමයි ඇවිත්  " මුදලාලි නිවස දෙසට කතා කලේ ය. ඒ සමගම නිවසේ දොරින් එබි බැලු මුදලාලී හාමිනේ "මෙන්න මෙයාට තමයි " කියා විශ්වනීව පෙන්නුවා ය. ඉන් පසු "ඔය ළමයි මුදලාලි එක්ක කතා කරගන්නකෝ මම බොන්න මොනවා හරි හදන්නම්" එසේ කියූ මුදලාලි හාමිනේ නැවතත් ගෙතුලට ගියා ය.

"මෙච්චර කාලෙකට අපි කවුරුවත් මේ ගෙදර නවත්ත ගත්තේ නෑ. ඒත් හාමිනේ මේ ළමයාව දැකපු වෙලාවේ ඉදන් කියනවා මමත් එහෙ මෙහෙ යනකොට ගෙදර තනියටත් එක්ක කවුරු හරි ඉන්නවනම් හොඳයි කියලා " මුදලාලි කියවගෙන ගියේ ය. "හැබැයි අපේ ගෙදර නවතිනවනම් අපි කියන විදිහට ඉන්න පුළුවන් වෙන්න ඕනා. අපි කාටවත්ම කරදරයක් නැති මිනිස්සු. ඒ වගේම අපිටත් කරදර කරනවට කැමති නෑ. ඒ හින්දමයි අපි කාවවත්ම මෙහේ නවත්ත ගත්තේ නැත්තේ ඔය ළමයට තේරෙනවා නේද?" කෙලින්ම විශ්වනී දිහා බලාගෙන මුදලාලි එසේ කීවේ ය. විශ්වනි තේරුණා කියන ලෙසින් හිස වැනුවා ය. "හොඳයි කවදා ඉදන්ද මේ ළමයා නතර වෙන්න එන්නේ? " නැවතත් ප්‍රශ්ණය විශ්වනී වෙත එල්ල කලේ ය. "තව සති දෙකකින් එන්නම් නේවාසිකාගාරයට මාසෙකට සල්ලි ගෙවලා තියෙන්නේ මාසේ ඉවර වෙන්න තව සති දෙකක් තියෙනවා " මේ කතා බහ අතරතුර මුදලාලි හාමිනේ තේ කෝප්ප හතරක් අතැතිව එහි පැමිණියා ය. ඔවුන් තේ කෝප්පයේ රස බලන අතරතුර විශ්වනී අසලට ගිය මුදලාලී හාමිනේ "දුව හෙට උනත් එනවට අපි කැමතියි. නේද මුදලාලි?" මුදලාලිගේ කැමැත්ත හිස වනා ලබාදුන් පිළිතුරෙන් සනාථ වුනේ ය.

සියල්ල සනාථවීමෙන් පසු ඔවුන් නැවතත් ආයතනය බලා එන්නට පිටත් වූ හ. ඒ එන අතරමග විශ්ව "මෙයා අරුන්දටත් වශියක් කෙරුවා වගේ" විශ්වනී දෙස බලා කිව්වේ ය. "ඇයි මම වෙන කාවද වශී කෙරුවේ? " විශ්වනී නොසිතාම කිව්වත් එය නුසුදුසු බව පසුව කල්පනා කලා ය. කරන්නට දෙයක් නැත වචන පිටවී අවසන්ය. එය නැවත ඇදගත නොහැකිය. "නෑ වෙන කවුරුවත් නෑ"  විශ්ව බිම බලාගෙන හෙමිහිට මිමිණුවේ ය. කතාව එතනින්ම නිමාවට පත්විය. නිසංසලා මේ එන අතරවාරයේ කතා නොකල තරම්ය. තවත් සති දෙකකින් තමන්ගේ කාමරේ එකට සිටි මිතුරිය නොමැතිවීම ඇයට දරාගන්නට නොහැකිවූවා විය හැකිය. විශ්වනී හෙමිහිට නිසංසලා සමීපයට ගොස් ඇගේ අතක් අල්ලා ගත්තා ය. "ඔයාට මම නැතුව පාළුවක් දැනෙයි නේද? ". "ඔයා කාමරෙන් යන එකටනම් දුකයි තමයි ඒත් ඔයාට නතර වෙන්න හොඳ තැනක් ලැබුනු එක ගැනනම් හරිම සතුටුයි විශි" ඇය ආදරණීයව පැවසුවා ය. "කොහොමත් ඔයා පන්තියෙදි ඉන්නේ මං ළගනේ " ඇය එලෙස කිව්වේ හිත හදාගැනීමට බව විශ්වනී දැන සිටියා ය. ඇගේ අත තදින්ම මිරිකා අල්ලා ගනිමින් ඔවුන් ඉතිරි දුර ප්‍රමාණයත් ගෙවා දැමූ හ.

ඒ සති දෙකත් හෙමිහිට ගෙවෙමින් තිබුනි. ජගත් දුරකථනයෙන් කතා කලවිට බෝඩිම ගැන ඇය ඔහුට කිව්වා ය. ඔහුත් එය අසා සතුටට පත්වූයේ ය. ගෙවුනු ඉරිදා දිනයේදීත් ඔවුන් මුදලාලිගේ නිවසට ගොස් මුදලාලි හාමිනේ සමග සුහඳ පිලිසදරේ යෙදෙමින් එහි කාලය ගත කල හ. එදා ඇයට ලබා දෙන කාමරය දැක බලා ගන්නටද විශ්වනීට හැකිවිය. එය ජනේලයෙන් සුන්දර එලිමහන දැකිය හැකි විශාල කාමරයකි. එහි දෙදෙනෙකුට වුවද ඉඩ පහසුකම් සහිතය. තමන් ලබන ඉරිදා නවතින්නට එන බව මුදලාලි හාමිනේට පැවසූ විශ්වනිලා නැවත පිටත්වුනේ හොඳටම හවස් වීමෙන් පසුවය.

දහසයවන පරිච්ඡේදය:

විශ්වනීගේ අළුත් නවාතැන්පලේ පලමු දිනය එයයි. උදේ සිටම නිසංසලාත් විශ්වත් ඇයගේ තනියට සිටිය හ. දහවල්වනවිට විශ්ව පිටත්ව ගියේ ය. තවදුරටත් නිසංසලා එහිම නතර වූවා ය. දිවා ආහාර වේලාව වනවිට මුදලාලිත් කොහෙදෝ සිට පැමිණියේ ය. මුදලාලි, හාමිනේ, නිසංසලා සහ විශ්වනී හතර දෙනාම එකම මේසයක වාඩිවී ආහාර ගත් අතර විටෙන් විට මුදලාලි තමන් දෙස විමසිලිමත්ව බලන බව විශ්වනී දුටුවා ය. ඒ සෑම මොහොතකම මුදලාලී හාමිනේද මුදලාලි දෙස බලා මොනවාදෝ ඉඟි කරනවා වැනි හැඟීමක් විශ්වනීගේ සිතට ඇතුළු වූවා ය. එය නරක දෙයක් විය නොහැක. තමන්ගේ හැඩ රුව ගැන හෝ හැසිරීම ගැන ඔවුන් යම් නිගමනයකට ඒමට උත්සහා කරනවා විය යුතුය යැයි ඇය කල්පනා කලා ය.

එදා රාත්‍රි ආහාර ඇයට ඔවුන් දෙදෙනා සමග තනිව ගන්නට සිදුවුනේ ඒවනවිට නිසංසලා නැවතත් පුහුණු මධ්‍යස්ථානයට පිටත්ව ගොස් ඇති නිසාවෙනි. පසුදා උදයේම ඇයත් පන්තියට යෑමට ඇති නිසා විශ්වනී කලින්ම නින්දට ගියා ය. සුපුරුදු ස්ථානය වෙනස්වීමෙන්දෝ ඇයට නින්ද ගියේ බොහෝ රෑ වූ පසුවයි. උදෑසන මුදලාලි හාමිනේ ඇගේ කාමරයේ දොරට තට්ටු කරන විටත් ඇය සිටියේ තද නින්දේ ය. කඩිමුඩියේ නැගිට ගත් ඇය ඇඟපත සෝදා ගවුමකින් සැරසී උදෑසන තේ කෝප්පයත් හුස්මට ගිල දමා එලියට බැස්සේ ආයතනයට යෑමට පරක්කු වී ඇති බව දන්නා නිසා ය. ඇය එළියට බසින විට මුදලාලී තමන්ගේ කා රථය පනගන්වාගෙන එළියේ රැදි සිටියේ ය. "පරක්කු වෙලා නේද යං මං ගිහින් ඇරලවන්නම්" මුදලාලි විශ්වනීට කතා කලේ ය. කිලෝ මීටර් භාගයක් තරම් කෙටි දුරකට ඇයව තමන්ගේ රථයෙන් ගෙන ගොස් ඇරලීමට උත්සුක වීම ගැන විශ්වනී පුදුම වූවා ය. නොදන්නා තමන් ගැන එතරම් ලෙන්ගතුකමක් හට ගත්තේ කෙලෙසදැයි ඇය කල්පනා කරන අතරතුර "දුව කාර් එකේම යන්න" එතෙක් එදෙස බලා උන් මුදලාලී හාමිනේ විශ්වනීට කිව්වා ය.

එතැන් සිට සෑම දිනකම විශ්වනීට පයින් ගමන් කරන්නට ඉඩක් නොලැබුනි. මුදලාලී ඇයව ආයතනය තුලටම ගෙනගොස් ඇරලුවේ ය. පන්ති ඉවර වෙන වෙලාවට පැමිණ ඇයව රැගෙන ගියේ ය. ඔහු දුරක ගොස් සිටින දිනවල රියදුරු මහතෙකු වාහනයක් සමග එවා තිබුනි. විශ්වනී ඒ පීබදව සිතුවේ තමන්ගේ නිවසේ සිටින අයෙකු වසයෙන් ඔවුන් තමන්ව සුරක්ෂිත කරන්නට මේ සැම දෙයක්ම කරනවා විය හැකි බවයි.

මාසයක් ගෙවුනු තැන ආයතනයට ගෙවිය යුතු මුදලත් බෝඩිමට ගෙවිය යුතු මුදලත් තැපැල් කන්තෝරුවෙන් ලබා ගැනීමට හැකිවන පරිදි මුදල් වවුචරයකින් ඈ වෙත එවා තිබුනේ ජගත් විසින් ලියන ලද ලිපියක්ද සමගයි. එම මුදල් ඇගේ පියා විසින් දුන් බව එහි ලියා තිබුනි. තැපැල් කන්තෝරුවෙන් මුදල් රැගෙන ආවේත් මුදලාලි විසිනි. බෝඩිම් ගාස්තුව මුදලාලී හාමිනේ අතට දෙන අවස්ථාවේ "අනේ මන්දා සල්ලි ගන්න බලාගෙන නෙමේ අපි දුවට මෙහෙ නතර වෙන්න කිව්වේ. එත් නොගත්තොත් දුව තරහා වෙයි කියලා මම මේක ගන්නවා. දුවට ඕනම වෙලාවක සල්ලි හදිසියක් වුනොත් ලැජ්ජා නොවී මගෙන් ඉල්ලන්න ඕනා හොඳද? " හාමිනේ කිව්වා ය. එය ඇසිමෙන් විශ්වනීට ඔවුන් ගැන සැබෑම ආදරයක් සිතුනා ය.

විශ්වනීගේ ගෙවෙමින් පවතින දින සුන්දරව, ඉතා සුන්දරව දැනෙන්නට වුයේ නිවසේ වැඩි මහල්ලන්ගෙන් නොමද ආදරයත්, කරුණාවත් නිබදවම හිමිවීම හේතු කොටගෙනය. සිය පවුලේම දියණියක ලෙස ඈව පිලිගෙන ඈට මහත් ගෞරවයක් උරුම කර දී තිබුනි. එපමණක් නොව නිවසේ කටයුතු සඳහා සිටින අත් උදව් කරුවන්ද ඇයට ඇමතුවේ පුංචි නෝනා ලෙසයි. තමන් එක් විටම නෝනා කෙනෙකු වී ඇතැයි විශ්වනීට මහත් ආඩම්බරයක්ද දැනුනා ය. වත්තේ පිටියේ වැඩට පිරිමින් දෙදෙනෙක්ද, රියදුරෙක්ද, ඊට අමතරව ඉවුම් පිහුම් සඳහා හාමිනේගේ උදව්වට ගැහැණු අයෙකුද සිටිය හ. ඒ සියලු දෙනාම වයස අවුරුදු හතලිස් පහ ඉක්මවූ අය බව බැලු බැල්මටම විශ්වනී සිතුවා ය.

සැබැවින්ම මෙම නිවස හිමි කරුවා විශාල ධනවතෙකු බව විශ්වනී දැනගත්තේ නිවසේ නතරවන්නට ආ පසුවය. නිවස පිහිටි ඉඩමේ පොල් ආදායම පවා ඔවුන්ගේ වියදම් වලට සෑහෙන තරම්ය. ඊට අමතරව රටේ බොහෝ තැන්වල ව්‍යාපාර සමූහයකි. ඒ එකින් එක ඇය දැනගත්තේ මුදලාලි හාමිනේ සමග තනිවුනු අවස්ථා වලදි කල කතා බහෙනි. නිවසේ රැහැන් දුරකථනයක්ද, ගුවන් විදුලි යන්ත්‍රයක්ද, එපමනක් නොව රූපවාහිනි යන්ත්‍රයක්ද තිබුනි. ඒ නිසාම හුදකලා මොහොතවල්වලදි ගීතයක රස විඳින්නට, නාට්‍යයක් නරඹන්නට විශ්වනිට හැකියාව උදාවිය. දුරකථනය ඇති නිසා බොහෝ අවස්ථාවලදි ජගත් ආයතනයට කතා නොකර බෝඩිමටම කථා කර විශ්වනීගේ සුවදුක් විමසන්නට පෙළඹුනේ ය. මේ කාලය වනවිට අතේ ගෙන යා හැකි ජංගම දුරකථන බොහෝ අයවලුන් පාවිච්චි කරමින් ඇති නිසා ජගත්ටත් එවැන්නක් මිළදී ගන්නැයි විශ්වනී පවසා සිටියා ය. නමුත් ජගත් කියා සිටියේ ඔවුන් ජීවත්වන දිහාවට දුරකථන සංඥා ලබාගැනීම තවමත් අපහසු බැවින් මේ මොහොතේ එය එතරම් වැදගත් නොවන බවයි.

විශ්වනී එක විටෙක ඔවුන්ගේ දරුවන් ගැන ඇයගෙන් විමසා බැලුවා ය. ඒ මොහොතේදීනම් ඇයගේ මුහුණ සම්පූර්ණයෙන්ම වෙනස් වීමකට හැරුනී. ඇය පවසා සිටියේ පුතෙකු සිටි බවත් ඔහු හදිසියේම මිය ගිය බවකුත්ය. ඒ වදන් ඇසිමෙන් විශ්වනීටද මහත් දුකක් සිත තුල ජනිත වූවා ය. ඇය ඒ ගැන කණගාටුව ප්‍රකාශකර සිටියා ය. එයින් මතු කිසිදු දිනයක ඒ පිළිබදව අසා ඔවුන්ගේ සිත් වලට ශෝකය නූපුදුවන බව ඇය තරයේ තමන්ටම පොරොන්දු තබා ගත්තා ය.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගොස් ඇයගේ සතියක නිවාඩු කාලය උදාවිය. ඈ රැගෙන යාම සඳහා ජගත් පැමිණියේ ය. නිවැසියන්ට ජගත්ව හදුන්වා දුන්නේ ඥාතිකමට අයියා කෙනෙකු බවත් කුඩාකල පටන් ඔහුත් ඔහුගේ නැගණියත් සමග එකම නිවසක හැදි වැඩුනු ඔහු හොඳ සහෝදරයෙකු වන බව ය.  නිවසින් සමුගෙන යන මොහොතේ විශ්වනී දෙමහල්ලන්ගේ පා වැන්ඳා ය. ඒ මොහොතේ ඔවුන්ගේ නෙත් කඳුළින් තෙත්ව තිබීම ගැන විශ්වනී මහත් භක්තියෙන් කල්පනා කලා ය. ඇය වෙත මෙවන් ගෞරවාදරයක් හිමිවීම ගැන ජගත්ද සිටියේ තුටුවූ සිතක් සහිතවය. ඔවුන් මග දිගට වැඩිපුර කතා කලේද ඒ පිලිබදවමය.

ඇයට නිවාඩු සතිය මහත් ආශ්වාදජනක එකක් විය. ජගත් සෑම දිනකම විශ්වනීගේ නිවසට ආවේ ය. එපමණක්නොවේ දෙමව්පියන් ඇසුරේ ගත කරන්නට ලැබීම ඇයටනම් සතුට දෙගුණ කරවන තරම්ය. විශ්වනී නිතරම තම බෝඩිම ගැන කිව්වා ය. බෝඩිමේ දෙමහල්ලන් ගැන කියෙව්වා ය. ඒ අසා සිටිමෙන් ඔවුන් දැක ගන්නට මවගේ හිතේද ආසාවක් උපන්නා ය. එපමණක් නොව ඊළග වාරයේ ඔවුන් දැක ගන්නට පියා සමග පැමිණෙන බව මව ඇයට පොරොන්දුවක්ද දුන්නා ය.

නිවාඩුව අවසන් කොට විශ්වනී බෝඩිමට පැමිණි පසු හාමිනේට තමන්ගේ මව්පියන් මෙහි එන්නට අදහස් කරගෙන ඇතැයි පැවසුවා ය. එයට ඇය උත්තර දුන්නේ මුදලාලි ඉන්න තැනකදී නැවතත් එය තමන්ගෙන් අසන ලෙසය. මුදලාලිගේ අවසරයකින් තොරව මේ නිවසේ කිසිවක්ම සිදු නොවන බව විශ්වනී වටහා ගත්තා ය. ඒ අනුව එදා රාත්‍රී ආහාර මේසයේදි ඇය තමන්ගේ මව්පියන් මෙහි එන්නට අදහස් කරගෙන ඇතැයි හාමිනේගෙන් නැවත විමසුවා ය. හාමිනේ මුදලාලී දෙස බැල්මක් හෙලුවා ය. හාමිනේ උත්තරයක් බලාපොරොත්තුවෙන් තමන් දෙස බලන බව මුදලාලිට වැටහුනේ එක්වරම දැඩි නිහඬියාවක් පැතිර යෑම නිසාවෙනි. ඉතිං මදක් හිස එසවූ ඔහු හාමිනේ දෙස බලා එයට එකඟවන බව ඇඟවන ලෙස හිස වැනුවේ ය. විශ්වනීට හරිම සතුටුය. හාමිනේ එයටත් වඩා සතුටුවන බවක් ඇයගේ මුහුණෙන්ද පිළිඹිබු වුනා ය.

දැන් දැන් මේ නිවස තමන්ටත් අයිතියක් ඇතැයි යන තරමටම විශ්වනී සාමාජිකාවක් වී සිටියා ය. එයට හේතු රැසක්ම පසුගිය දිනවලදි සිදුවූ බව මෙනෙහි කලා ය. නිසංසලාත්, විශ්වත් නිසංසලාගේ තවත් මිතුරියක සමග ඇයව බලන්නට මෙම නිවසට පැමිණි සෑම දිනයකදීම ඔවුන්ට සංග්‍රහා කිරීමේ කටයුතු ඇයට සුදුසු පරිදි කරන්නට හාමිනේ අවසර ලබාදීම එක් කාරණයක් විය. අනෙක් කාරණයනම් මුදලාලිට හදිසියේ ඇතිවූ අසනීප තත්වයකදී ඔහුට උපස්ථාන කිරීමේ වගකීම නිතැතින්ම ඇය වෙත හිමිව තිබීමය. එපමණක් නොවේ ඉහුම් පිහුම් වලදීද තමන්ට රිසි දේවල් කියන්නට අවසර ලැබී තිබීම, නිවසේ අලංකරණ කටයුතු පවා ඇගේ අධික්ෂණයෙන් සිදුවනු දැකීමට හාමිනේ ප්‍රිය වූවා ය. "මෙහෙම ගිහින් මම මේ ගෙදර අයිතිකාරිම වෙයිද? සාත්තර කාරයා කියපු සිටු මාළිගය මේක වෙන්නත් පුළුවන්" ඇය සමහර අවස්ථාවලදි එසේ සිතා තිබුනා ය. එය සිතුවිල්ලක්ම බව අනෙක් අතට ඇය කල්පනා කලා ය.

එක් දිනක් විශ්ව තනිවම ඇය බලන්නට ආවේ ය. ඇය සමග එලිමහනේ ඇවිඳිමින් කතා බස් කරන අවස්ථාවේ කුමක්දෝ දෙයක් කියන්නට තතනන බව විශ්වනීට වැටහුනා ය. ඒ කුමක් ගැනදැයි ඇය දැනගෙන සිටියා ය. නමුත් ඔහු ඒ සෑම මොහොතකම අසිරුවෙන් නමුත් එය සඟවා ගන්නා බවක්ද ඇයට වැටහී ගියා ය. ඇත්තටම සිදුවූයේ එය නොවේ. ඇය ඔහුට එවැන්නකට ඉඩක් නොදි සිටීමට කටයුතු කිරීම නිසා ය. එදා කිසිවක්ම කියා ගනු බැරිව ඔහු පිටවී ගියේ ය. සෑමදාම මඟහැරීමට තමන්ට නොහැකිවනු ඇත.  යලි දවසක ඔහු උත්සහා කරනු ඇත. එවිට තමන් කුමක් කල යුතුදැයි, කුමක් කිව යුතුදැයි ඇයට සිතා ගැනීමටත් බැරිව හිත ලතවූවා ය.

" මොනවද දරුවෝ කල්පනා කරන්නේ " එකපාරටම මුදලාලි හාමිනේ පිටිපස්සෙන් ඉදන් එහෙම කියද්දි විශ්වනී ගැස්සුනා ය. "මුකුත් නෑ හාමිනේ " විශ්වනීගේ ඒ උත්තරයෙන් හාමිනේ වෙතින් සෑහිමකට ලක්වූ බවක්නම් දිස් නොවුනා ය. "මටනම් හිතෙන්නේ ඔය නිතරම මෙහෙ යන එන පිරිමි ළමයා දුව ගැන මොකක් හරි අදහසක් හිතේ තියාගෙන වගේ ඉන්නේ. බැලු බැල්මටනම් වැදගත් කමකුත් පේනවා. අම්මලා තාත්තලා මොනවා කරනවා කියලද කිව්වේ? " "එයාලගේ තාත්තාට රෙදි ව්‍යාපාරයක් තියෙනවා කියලා තමයි කිව්වේ. අපි හොඳ යාළුවෝ වගේ තමයි ආශ්‍රය කරන්නේ. " එහෙම කියපු විශ්වනී නැවත කල්පනාවට අවතීර්ණවූවා ය. "හාමිනේටත් ඒ වෙනස තේරිලයි තියෙන්නේ. බැරි වෙලාවත් හාමිනේ මේ ගැන මුදලාලිට කිව්වොත් මුදලාලි මං ගැන වැරදියට හිතයිද දන්නෙත් නෑ. අනිත් අතට ජගතුත් මෙහෙ එන අතරක නිකමටවත් මේ ගැන කතාවක් උනොත් එයා මං ගැන මොනවා හිතයිද? මගේ අම්මේ එන ගමනුත් එයා කිව්වේ මං වෙනස් වෙයිද දන්නේ නෑ කියලා " මෙලෙස විශ්වනී කල්පනා සාගරේ කිමිදෙන අතර හාමිනේ නිවස දෙසට ගියා ය. "ඇත්තටම විශ්වට සල්ලිත් තියෙනවා. ගතිගුණත් හොඳටම හොඳයි. ඇයි දෙයියනේ මං එන්න කලින් එයා වෙන කා එක්ක හරි යාළු නොවී හිටියේ. එහෙම උනානම් කිසිම කරදරයක් නෑනේ. ඒත එහෙම උනානම් මට හොඳ යාළුවෙක් නැතිවෙන්නත් ඉඩ තිබුනා. දැන් මං මේකට මොකක්ද කරන්නේ? "  තමන් දැඩි තීරණයකට පැමිණිය යුතුයි යනුවෙන් විශ්වනී ස්ථීරසාරවම හිතා ගත්තා ය. නොමැති වුවහොත් මේවා දුරදිග ගොස් තමන්ට බෝඩිමෙන් යෑමට පවා සිදුවනු ඇතැයි ඈ කල්පනා කලා ය.

ඒ සතියේ විශ්වනී, විශ්වගෙන් හැකිතාක් දුරස්ව ඉන්නට වෑයම් කලා ය. නමුත් එය සිතන තරම් පහසු කටයුත්තක් නොවන බව වැටහුනේ විශ්ව දුටු වහාම ඔහු සමග දොඩමලු වන්නට තමන්ගේ සිත කරන ඇවටිලිවලට යටහත් වන්නට සිදූවීම නිසාවෙනි.

දහ හත්වන පරිච්ඡේදය:

කාලය සෙමින් සෙමින් ගෙවී ගියේ ය. මුදලාලිත්, හාමිනේත් ඇයට මහත් ලෙන්ගතු වූ හ. විශ්වනීද බෝඩිමට මෙන්ම එහි නිවැසියන්ටද ලෙන්ගතු වූවා ය. දැන් දැන් ඔවුන් විශ්වනීගෙන් බෝඩිම් ගාස්තු පවා නොගන්නා තැනටම පත්වී ඇති අතර ඇයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නිවැසියන් වියදම් දරණ තැනට පත්වී ඇත. බොහෝ දිනවල මුදලාලි නගරයට ගොස් පැමිණෙනවිට විශ්වනී වෙනුවෙන් කිසියම්ම දෙයක් රැගෙන ආවේ ය. ඇඳුම් පැලඳුම්, සුවඳ විලවුන්, රස කැවිලි, බෝනික්කන් පවා ඒ අතරවිය. මේ සෑම දෙයක් ගැනම ජගත් හරහා මව්පියන්ට දැන්වූවිට ඔවුන්ගේද සිත් සතුටින් පිනා ගියේ ඇයගේ අවශ්‍යතාවයන් වලට තමන්ට එතරම් දරන්නට බැරි කලෙක මෙවන් පිලිසරණක් හෝ ලැබීම ගැනය. අනෙක් අතට ඇය සතුටින්ය. දරුවෙකු සතුටින් සිටීම තරම් දෙමව්පියන්ට වෙනත් ලාභයක් කොහිද?.

මේ අතර විශ්වනීගේ විසිවන උපන් දිනය යෙදී තිබුනි. එය සතියේ සිකුරාදා දිනයකි. මුදලාලී හාමිනේ උදේම කිරි බතක් පිලියෙල කලා ය. මුදලාලි ඊට පෙර දවසේ විශ්වනීටත් හොර රහසේ රැගෙනවිත් තිබූ රසකැවිලිද අඩංගුව උපන් දින කෑම මේසයක් සකස්වී තිබුනී. විශ්වනී උදේ අවදී වී කෑම මේසය ළගට එනතුරුම මෙවැන්නක් පිලිබදව දැන සිටියේ නැත. මුදලාලි අත් ඔරලෝසුවක් තෑගී කලේ ය. හාමිනේ ඇය විසින්ම මසන ලද ලස්සන ගවුමක් තෑගි කලා ය. මෙම ගවුම මුදලාලි හාමිනේ විසින් විශ්වනී පුහුණු ආයතනයට ගිය පසු මුදලාලිගේ අනුදැනුම පිට හොර රහසේ මැසූවකී. එදා ආයතනයට යනවිට ඇය එම ගවුම ඇඳගෙන ගියා ය. ඇය බෝනික්කියක් මෙන් ලස්සනය. එය එතරම්ම හැඩට මසා ඇති බව ආයතනයේදී නිසංසලා පැවසුවා ය. එම වදන් තුලින් විශ්වනීගේ සිත ආඩම්බරකාර හැඟීමකින් මෝදුවුවා ය. මුදලාලිලා තමන් ගැන මෙතරම් ලෙන්ගතුවූයේ පෙර සංසාරගත බැඳීමක් හේතුවෙන් යැයි විශ්වනී එකවිටෙක කල්පනා කලා ය.

පුහුණු කාලයෙන් වසරක් ගෙවී ගොස් තිබු නිසාවෙන් සිසුන්ගේ අධ්‍යාපන මට්ටම පරික්ෂා කිරිමේ පළමු විභාගයට මුහුණ දීමට පළමු වසරේ සිසු සිසුවියන්ට මෙන්ම විශ්වනීටද සිදුවුනා ය. එය මහත් අභියෝගයක් වූ නමුත් සාර්ථකව මුහුණ දෙමින් ඉහළම සමාර්ථයක් හිමිකර ගන්නට විශ්වනී සමත්වීම ගැන ඇගේ දෙමව්පියන් තරමටම බෝඩිමේ නිවැසියන්ද ඉතා සතුටට පත්වී සිටිය හ. මේ නිසා ඇයට මුදල් ත්‍යාගයක් පිරිනමන්නට මුදලාලි කටයුතු කර තිබුනී. එයින් තමන්ට කැමති දෙයක් මිළදි ගන්නා ලෙසද ඔහු ඇයට පවසා සිටියේ ය. ලද මුදලින් කුමක් කරම්දැයි බොහෝ කල්පනා කල විශ්වනී අවසානයේ ජගත් වෙනුවෙන් ජංගම දුරකථනයක් ලබා දීමට අදහස් කල අතර ඒ සදහා සෙනසුරාදා දිනක මුදලාලිගේ රියදුරෙකු සමග වාහනයේ නැගී කුරුණෑගල නගරයට ආවා ය. කඩයකට ගොඩවැදී දුරකථනයක් තෝරන අතර කඩේ හිමිකරු ඇයගේන විමසුවේ "මේ විමලසේන මුදලාලිලාගෙදර නතරවෙලා ඉන්න ළමයාද? " යනුවෙනි. මෙතෙක් ඇය මුදලාලිගේ නම දැනගෙන සිටියේ නැත. ඒ ගැන අවංකවම කඩේ හිමිකරුට ඈ පැවසුවා ය. එවිට කඩේ හිමිකරු "මුදලාලි නිතරම අපේ කඩෙන් බඩු අරන් යනවා ගෙදර ඉන්න ගෑණු ළමයෙකුට කියලා. ඉතිං ඔය ළමයා මුදලාලිගේ වාහනේ ආපු නිසා මම හිතුවා ඒ ඔයා තමයි කියලා " පැවසුවේ ය. එයට සිනාවකින් පිළිතුරු දුන් ඇය කල්පනා කලේ මෙතෙක් තමන් නොදැන හෝ රැඳී සිට ඇත්තේ තමන්ගේ පියාගේ නම තියෙන අයෙකුගේ නිවසේ නොවෙද යන්නය.

පසුදා උදෑසන ඇය රැගෙන යාමේ බලාපොරොත්තුවෙන් ජගත් එදා හවස්වනවිටම බෝඩිමට ආවේ එදා රාත්‍රිය එහි ගත කිරිමේ බලාපොරොත්තුවද සහිතවය. තමන් මිළදිගත් දුරකථනය විශ්වනී නිවසට යාමෙන් පසු ලබා දීමට අදහස් කර ඇති නිසා ජගත්ට ඒ පිළිබදව කිසිවක්ම නොකියන්නට වග බලා ගත්තා ය. ඔහු එදා පැමිණ තිබුනේ පොදු ප්‍රවාහන බස් රථවල නිසා පසුදා උදේ මුදලාලි තමන්ගේ වාහනයෙන් දෙදෙනාවම කුරුණෑගල දක්වා රැගෙන ගොස් බසයකට නංවා එය පිටත්වන තෙක්ම එහි රැඳි සිටියේ ය.

බස් රථයේ එන අතරමග ඇය ඔහුගේ උරය මත හිස තියාගත්තේ නිදිමතටත් වඩා ඔහුට ඇති සෙනෙහස අපමණයැයි ඔහුට හැඟවීම සඳහා ය. එවිට ඇයගේ කර මතින් අත දමා තමන්ගේ සිරුරට තද කරගන්නා ඔහු කිහිපවිටක්ම ඇයගේ නලලත සිප ගත්තේ ය. සියුම් කිතියකින් ගත පෙලා දමද්දි අනන්ත අප්‍රමාණවූ ආදරයක උණුසුම ඒ තුල තිබෙනවා නොවෙදැයි විශ්වනී කල්පනා කලා ය. එවිට ඔහුගේ දෑස් දෙසට එබී බලන ඈ අඩවන් දෑස් විදහා ඔහු විනිවිඳ දකින්නට උත්සහා කලා ය. බසයේ සිටින අන් අයගේ අවදානයක් නැතැයි දැණුනු අවස්ථාවලදී ඇයද ඔහුගේ ගෙල සිප ගත්තා ය. ආදරයේ සුන්දරත්වය විඳිමින් බස් රථයේ ඔහු සමග පැමිණි ගමන මොන තරම් ආශ්වාදජනක අත්දැකීමක්දැයි ඇය නිවසට පැමිණි පසු පවා කල්පනා කලා ය. ඒ ආදරය පිවිතුරුය ඒ තරමටම සෙනෙහෙබරය. එය ලබන්නට තරම් තමන් භාග්‍යවන්ත අයෙකුවීම ගැන ඇය සතුටු වූවා ය.

පියා සමග කතා බහ කරන්නට ලැබුනු අවස්තාවේදි ඇය මුදලාලිගේ නම පියාගේ නමම බව ඔහුට සැලකර සිටියේ එය දැන ගත් ආකාරයද සඳහන් කරමිනි. පසුදා උදයේ ජගත් රැකියාවට යෑමට පෙර ඇය දකින්නට ඇගේ නිවසට ආවේ පෙරදා ඇය විසින් ඔහුට එන්නැයි කියා කියන ලද ඉල්ලීමටද අනුවය. එලෙස පැමිණි ඔහු වෙත තමන් මිළදීගත් දුරකථනය ලබා දුන් ඇය එය මිළදී ගත්තේ මුදලාලි ලබාදුන් මුදලින් බවද කීවා ය.

පෙර වාරයේදීත්  මව්පියන්ට බෝඩිමේ ගෙදරට පැමිණිමට හැකියාවක් නොමැති වූයේ ගොවිපලේ කටයුතු අධිකව තිබු නිසාවෙන්යැයි මව විශ්වනීට කීවා ය. නමුත් මේ වනවිට එය යම් තරමකට අඩුවී ඇති නිසා මෙවර අනිවාර්යෙන්ම එහි එන්නට කටයුතු කරන බවද වැඩිදුරටත් කීවාය. නමුත් ඊළග වාරයේ සිදුවූයේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකට මුහුණ දීමටයි. නිවස දෙසට ඇලව තිබු ගසක අත්තක් කපා ඉවත් කිරීමට ගිය විශ්වනීගේ පියා එයින් ඇදවැටි පාදය ආබාධයකට ලක්වීමත් මාස දෙක තුනක් එක්තැන්ව ප්‍රතිකාර ලබා ගත යුතුයැයි බෙහෙත් කරන වෙඳ මහතා දැනුම් දී තිබුනි. මේ පිළිබදව පණිවිඩය ජගත් විසින් පවසනවිට විශ්වනී හඬා වැටුනා ය. ජගත් කොතෙක් උත්සහා කලද අයගේ හැඬීම නැවැත්වීමට හැකියාවක් නොවිය. ඒ මොහොතේ ඒ ස්ථානයේ සිටි මුදලාලී හාමිනේ විශ්වනීගෙන් දුරකථනය ඉල්ලාගෙන ජගත්ගෙන් විස්තර විමසුවා ය. පාදයේ අස්ථියක් පුපුරා යෑම නිසා ඇවිදීමට කලක් ගතවනු ඇති බවත් නමුත් වෙනත් කිසිදු කරදරයක් නැති බවත් ජගත්ගෙන් අසා දැනගත් ඇය විශ්වනීව අස්වැසුවා ය. මුදලාලි නිවසට ආපසු ඒ පිළිබද යමක් කරන්නට හැකිවනු ඇතැයි හාමිනේ කීවා ය. එය ඇසිමෙන් මුදලාලි තමන්ව පියා බලන්නට ඔහුගේ රථයෙන් රැගෙන යනු ඇතැයි විශ්වනී විශ්වාස කලා ය. නමුත් බලන්නට යෑම ප්‍රතික්ෂේප කල මුදලාලි මුදලක් යවමුයි කියා කරන ලද යෝජනාව හමුවේ විශ්වනීට දුකක් මෙන්ම කේන්තියක්ද ඇති වුනා ය. ඒ නිසාම එදා රාත්‍රිය ආහාර නොගෙනම නින්දට ගිය විශ්වනී තරහා නිවෙන තුරුම හඬා වැලපුනා ය. අඩ නින්දේ පසුවන යාමයේ කිහිපවිටක්ම මුදලාලි කාමරයට එබිකම් කර බලා ගිය බව විශ්වනී දුටුවා ය. "එනවා මෙතන බොරුවට බලලා යන්න " ඇය හිතින් මිමිණුවා ය. ආයෙත් "මම බෝඩිම් කාරයෙක් මිසක් ගෙදර කෙනෙක් නෙමේනේ මුදලාලි මුදල් දීලා කරන උදව්වත් එක අතකට ලොකු උදව්වක්නේ කලබල වෙලා මම අපරාදෙනේ තරහා ගත්තේ " ඇය ඇයටම දොස් නගා ගත්තා ය. පසුවදා උදයේත් ජගත් දුරකථනයෙන් කතාකර පියාට එතරම් අමාරුවක් නොමැති බවත් ටික දවසක් තෙල් බේත් කරපුවාම හොඳටම සනීප වෙන බවත් විශ්වාසයෙන්ම කියා ඇයට කලබල නොවී පාඩම් කටයුතු කරගෙන යන්නැයි ඉල්ලීමද සමග තමන් නිතරම පියාගේ සුවදුක් විමසීමට එහි යන බවත් පොරොන්දු වූවේ ය. එයින් යම් සහනයක් සිතට දැනුනු නිසා විශ්වනී කලබලයකින් තොරව තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙස වන්නට උනන්දු වූවා ය. නමුත් පියාවූ විපත්තිය පිළිබදනම් නිරන්තරයෙන්ම ඇයගේ සිහියට එන්නට වූවා ය.

නමුත් මේ අතර විශ්ව හා ජගත් අතර දෝලනය වන තමන්ගේ සිත එක අරමුණකට පමණක් යොමු කල යුතුයැයි දැඩි තීරණයකට එළඹි විශ්වනී තමන් මෙතෙක් නොකියා සඟවාගෙන සිටි ඇත්ත තමන්ට හිතවත් නිසංසලා සමග කියන්නට ඇය අදිටන් කර ගත්තා ය. මෙය ඇයගෙන් මෙතෙක් සැඟවීම සම්බන්ධයෙන් ඇයද තමන් ගැන වැරදියට තේරුම් ගනිවිදැයි ඈ නැවතත් කල්පනා කලා ය. "නිසී....ඔයාට මම මෙච්චර දවසක් කිව්වේ නැති දෙයක් ගැන කියන්නම්. හැබැයි මාව වැරදියට තේරුම් ගන්නනම් එපා " අවස්ථාවක් ලද විගස විශ්වනී නිසංසලාට කීවා ය. " ඒ මොකක්ද විශ්ව ගැනද? " "නෑ අනේ මට යාළු පිරිමි ළමයෙක් ඉන්නවා ඉස්කෝලේ යන කාලේ ඉදන්මයි සම්බන්දේ එයා තමයි මට නිතරම කතා කරන්නේ. මාව කැන්දගෙන යන්න එන්නෙත් එයා තමයි ජගත් අයියාත් එක්ක තියෙන සම්බන්දේ  ගැන  දෙගොල්ලන්ගෙම ගෙදර කට්ටිය දන්නවා. මම ශෂිකා කියලා කෙනෙක් ගැන කිව්වා නේද? ඒ එයාගේ නංගි අපි කුඩාකාලේ ඉදන්ම එකටමයි හැදුනේ වැඩුනේ " "  මටනම් හරිම දුකයි විශ්ව ගැන එයා ඔයා ගැන බලාපොරොත්තු තියාගෙනයි ඉන්නේ මේක දැනගත්තාම එයාට මොනවා හිතෙයිද දන්නේ නෑ " නිසංසලා එලෙස කීවා ය. "ඔව් අනේ මට තියෙන ප්‍රශ්ණෙත් ඒකම තමයි දැං මං මොකද කරන්නේ? " විශ්වනීගේ ඒ කතාවට නිසංසලා "හරි අපි බලමුකෝ මම කොහොම හරි එයාට තේරුම් කරලා දෙන්නම්කෝ ඔයා මුකුත් කියන්න යන්න එපා හරිද? " ඇයට උපදේශාත්මකව පැවසුවා ය. "හා එහෙම හොඳයි " විශ්වනී එලෙස කියා බෝඩිමට යෑමට පිටත්වුනේ ඒ වෙනකොටත් ඇයව රැගෙන යාමට මුදලාලි වාහනය එවා තිබූ නිසාවෙනි.

ඊළග ඉරිදා උදයේත් විශ්ව ඇගේ බෝඩිමට ආවේ ය. නිසංසලා සියල්ල හෙළිකර ඇතිද? එසේත් නොමැතිනම් තවමත් එවැන්නක් කර නැතිදැයි විශ්වනී නොදන්නා නිසාවෙන් ඔහුට කෙලෙසක මුහුණ දිය යුතුදැයි කලබලයට පත්වුනා ය. ඔහුගේ මුව සුපුරුදු සිනාවෙන්ම පිරි තිබුනි. වෙනසක් නොපෙන්නාම විශ්වනි ඔහුට ඉස්තෝප්පුවෙන් වාඩිවන ලෙස දැන්වූ අතර ඔහු කියා සිටියේ අද ගෙදර යන්න සුදානමින් පැමිණි නිසා වැඩිවේලාවක් රැඳිය නොහැකි බවය. " ඇයි හදිසියෙම? " විශ්වනී ඔහුගෙන් විමසා සිටියේ ඔහු සාමාන්‍යෙයන් සෙනසුරාදා දිනවල නිවසට යන බව අසා තිබීම හේතුවෙනි. " නෑ හදිස්සියක් නෙමේ පහුගිය දවස්වල බැරි වුනු නිසා අදවත් ගිහිල්ලා එන්න හිතුවා " මද වේලාවක් නිහඬව සිටි ඔහු යලිත් "ඊයේම යන්න තිබුනා ඒත් ඔයාට කියලම යන්න හිතුව නිසයි නතරවුනේ. මට නිසංසලා හැම විස්තරයක්ම කිව්වා. ඒ හින්දමයි මම ඔයාට කියලා යන්න හිතුවේ නැත්නම් ඔයා හිතයි මම තරහා වෙලා ගියා කියලා. මම ඔයා එක්ක කවදාවත්ම තරහා වෙන්නේ නෑ. හවස් වෙන්න ඉස්සර ආපහු එන්නත් ඕනා නිසා මම යන්නම් විශි. අපි ආපහු හම්බුනාම වෙනසක් නැතුව කතා කරමු. ඔක්කෝටම වඩා යාළුකම වටිනවනේ. එහෙම නේද? " සිහිනයකින් ඇහෙනවා වගේ මේ වදන් පෙල අහගෙන ඉදපු විශ්වනීට දැණුනේ මහම මහ සැනසිල්ලක්. "හොදයි එහෙනම් පරිස්සමින් ගිහින් එන්න. ඔයාට බුදුසරණයි! " පුංචියට තෙත්වුනු දෙනෙතෙන් ඔහු දිහා බලලා ඇය ඔහුට සමු දුන්නා ය.

ඔහු යතුරු පැදියේ නැගි යන්නට ගියේ ය. ඇයට මහා පාළු ගතියක් දැනෙන්නට විය. ඒ සිත ඇතුලෙන් තමන් ඔහුට බැඳී සිටි නිසාවෙන් නේදැයි ඈ කල්පනා කලා ය. ඒ කුමක් වුවද වැස්සක් පෑව්වා වැනි නිසංසල ගතියක් තමන්ට ලැබීම ගැන ඇය සතුටු වුවා ය.

සදුදා දින උදයේ පුහුණු ආයතනයට පැමිණි විගසම ඇය විශ්ව පිළිබදව සොයා බැලුවා ය. ඊයේ ඔහු තමන්ගේ සිත සැනසෙන ලෙස කතාකර පිටත්ව ගියේ නැවත පන්තියට නොඑන අදහසකින්වත්දැයි පුංචි සැකයක් ඇයගේ සිතේ ජනිතව තිබුනා ය. නැත ඔහු පැමිණ තිබේ. සුපුරුදු සිනා රැල්ල තවමත් දෙතොල් මත ජීවමානය. කිසිවක් සිදු නොවූ විලසින් හමුවූ විට කතා කරයි. සැබැවින්ම කිසිවක් වූවේ නැත. අඩුම තරමේ ආදරය ගැන වදනක් හෝ දොඩා නැත. සියල්ල තිබුණේ සිත්වල සැඟවිලාය. ඒ නිසා අපහසුතාවයක් ඇති නොවනු ඇත. හිතේ නිස්කලන්කයෙන් යුක්තව පාඩම් වලට යොමුවිය හැක. විශ්වනී සැනසුම් සුසුමක් හෙලුවා ය.

දහ අටවන පරිච්ඡේදය:

මේවනවිට විශ්වනී ආයතනයේ ගෙවන අවසන් වසර දක්වාම පැමිණ තිබු අතර පියා යම් තරමක සනිපයක් ලබමින් සිටියේ ය. ඒ අතර කාලයේ ඇයට එක් නිවාඩු වාරයක් හිමිව තිබූ නිසා ඔහු බලන්නට යන්නටද අවස්ථාව උදා වූවා ය. ගොවිතැන් කටයුතුද අඩාලව ඇති නිසා පුහුණුව අවසන් කල වහාම සුදුසු රැකියාවක් සොයා ගැනීමට මහන්සි ගත යුතුය. ඉක්මනින්ම රැකියාවක් සොයා ගතහොත් නිවසේ පවතින කරදරවලටද යම් සහනයක් වන්නට තමන්ට හැකිවනු ඇතැයි ඇය විශ්වාස කලා ය.

මේ අතර විශ්වනීට ශෂිකා ගැන අමුතු කතාවක් අහන්නට ලැබි තිබිනි. විශ්වවිද්‍යාලයේ කලා සංගමයට එකතුවී සිටි ඇය ඒ හරහා පෙන්වන ලද දක්ෂතා හේතුවෙන් වේදිකා නාට්‍යයක රඟදැක්වීම සඳහා තෝරාගෙන ඇති බවයි. අනිවාර්යෙන්ම ඇය තම දක්ෂතා තුලින් ඉදිරියටම ගොස් රටේ ඉහළම තැනකට පත්වෙනු ඇතැයි විශ්වනී විශ්වාස කලේ එදා නුග ගහ යට අමුත්තාගේ අනාවැකියද සිහිපත්වීම නිසා ය. ඇත්තටම වැඩිකලක් නොගොස් එය එලෙසම සිදුවිය. නිෂ්පාදකයෙකු විසින් ඇයව ටෙලි නාට්‍යයක් සඳහාද තොරාගත් බව ඇයට දන්වා තිබිනි. මෙය දැනගත් වහාම ඇය තමන්ගේ දෙමව්පියන්ට මේ පිලිබදව දන්වා සිටියේ ඔවුන්ගේ අවසරය ලබාගැනීම සඳහා ය. දෙමව්පියන්ගේ ආශිර්වාදය මැද මෙහි රූගත කිරීම් කටයුතු ආරම්භ කරන ලද්දේ විශ්වවිද්‍යාලයේ නිවාඩු ලබාදීමෙන් පසුව වීම ඇයට යම් සහනයක්ද වූවා ය. දිවයිනේ ප්‍රදේශ ගණනාවකදි රූගත කිරීම් කරන්නට කටයුතු යොදා තිබූ අතර කුරුණෑගල ප්‍රදේශයද එයට ඇතුලත්වීම නිසා ශෂිකා එය තමන්ගේ මිතුරිය, ඥාතිවරිය, හිතවතිය වූ විශ්වනී වෙත හෙලි කලේ කලකට පසු දුරකථනය හරහා සම්බන්ධ වෙමිනි. රූගත කිරීම් වලට එහි පැමිණිවිට ඇයව බලන්නට බෝඩිමට ඒමට අදහස් කර ඇති බැවින් ගමන් මාර්ගය ඇයගෙන් විමසා සිටියා ය. අනිකුත් ස්ථානවල රූගත කිරීම් අවසන් කර කුරුණෑගලට පැමිණිමට මාස දෙකක පමණ කාලයක් ඇති බවද වැඩිදුරටත් හෙලි කලා ය.

මේ ගැන දැනගත් විගසම විශ්වනී එය මුදලාලි හාමිනේට කියන්නට අමතක නොකලා ය. එමෙන්ම නිසංසලා ඇතුළු පුහුණු ආයතනයේ හිත මිතුරන්ටද මේ පිලිබද හෙළි කලේ හිත ඇතුලේ උපන් ආඩම්බරයක්ද සමගිනි.

ගතවුනු කාලය තුල ශෂිකාගේ පටිගත කරන ලද කොටස් රූපවාහිනිය හරහා විකාශනය වී තිබිමෙන් රටේ ජනප්‍රිය තලයේ කලාකාරියන්ගේ ගොන්නට ඇයගේ නමද ඇතුලත්වී තිබුනි. එක් දිනයක මුදලාලි අගනගරයට ගොස් පැමිණෙන විට සිනමා පත්තරයක් රැගෙනවිත් විශ්වනීට දුන්නේ එහි මුල් පිටුව ශෂිකාගේ රුවෙන් හැඩවී තිබීම නිසාවෙනි. එය මහත් භක්තියෙන් දෝතට ගත් විශ්වනී එය සිපගත්තේ සිතේ හටගත් සතුට දෝරේ ගලා යන හැඟුමක් උපන් නිසාවෙනි. ඇය දැන් ඇඟිලි ගනිමින් සිටින්නේ ඇය තමන්ව බලන්නට එන ගමන ගැනය. ඇය එන දිනයේදි ඇය බලන්නට විශ්වනීගේ නිසංසලා ඇතුලු මිතුරු පිරිසටද අවස්ථාවක් ලබා දීමට ඇයට හැකිය. එය එක් පසෙකින් ඇයට ලැබෙන ගෞරවයකි. එපමණක් නොව මුදලාලිගේ නිවසේ සේවක සේවිකාවන්ද පුල පුලා බලා සිටින්නේ ජනප්‍රිය නිලියක් සැබැහින් දැක ගැනීමේ අවස්ථාව තමන්ට උදාවනවා යන සිතුවිල්ල පෙරදැරිවය. මේ නිසාම වෙනදාටත් වඩා විශ්වනීට ලෙන්ගතු වෙමින් ඇයගේ අවශ්‍යතා නොපිරි හෙලා ඉටුකරන්නටද ඔවුන් යුහුසුළුවූ හ.

මේ අතර මුදලාලි හා හාමිනේ අතර යම් යම් රහසිගත කතා ඇතිවන බවක් විශ්වනීට ඉවෙන් මෙන් පසක් වූවා ය. ඇය එන විටම හදිසියේ නිහඬවීම සිදුවීම එවන් අදහසක් ඇයගේ සිතට ඇතුළුවීමට ආසන්නම හේතුව විය. එපමණක් නොව කුමක්දෝ දෙයක් සැලසුම් කරන අයුරකුත් ඇයට වැටහී ගියා ය. සමහරවිට ශෂිකා පැමිණිමේදි ඇයට ඉහළම සංග්‍රහයක් කරන්නටත් එය තමන්ගෙන් සඟවන්නටත් ඔවුන් කටයුතු කරනවා විය හැකියැයි විශ්වනී කල්පනා කලා ය. එවැනි අවස්ථා ගණනකට මුහුණ දී ඇති නිසා මෙයත් එවැන්නක්මයැයි ඇය තරයේම විශ්වාස කලා ය.

මේ වනවිට ශෂිකාගේ පැමිණිම ගැන පුහුණු ආයතනය පුරාද ආරංචිය පැතිර තිබු අතර ආයතනයේ අධ්‍යක්ෂ මන්ඩලයටද ඇයව එහි ගෙන්වා ගැනීමට අවශ්‍යතාවයක් පැණි නැගි තිබුනි. ඒ නිසා විශ්වනී හරහා එය සිදුකර ගැනීමට ඔවුන් විසින් කරන ලද යෝජනාවට විශ්වනී එකවරම එකඟ නොවූ අතර ඇයගෙන් විමසා පණිවිඩයක් ලබා දෙන බව එහි පාලනාධිකාරයට දැන්වූවා ය. ශෂිකා තමන්ගේ මිතුරිය වෙනුවෙන් ආයතනයේ යෝජනාව බාරගත්තේ ඒ තුලින් විශ්වනීට ආයතනය තුල ඉමහත් ගෞරවයක් හිමිවන බව සක්සුදක් සේ දන්නා නිසා ය.

පුහුණුවේ අවසන් අදියරේ සිටින ඇයට මුදලාලි අපුරු යෝජනාවක් කලේ ය. ඒ ඔහුගේ ව්‍යාපාරික ස්ථානයක ගිණුම් පරික්ෂාවක් කරගැනීමට අදහස් කර ඇති නිසා එය ඇය විසින් කරන්නේනම් අධ්‍යාපනයටද එය මහත් පිටුවහලක් වන බවය. සැබැවින්ම මෙම පුහුණු කාලය තුල ගිණුකරණය පිළිබදවද විෂයක් ඇතුලත්වී ඇති නිසා එ් පිලිබදව තමන් ලත් දැණුම පරික්ෂා කිරීමට මෙය මහඟු පිටුවහලක් වන බව විශ්වනීද කල්පනා කලා ය. ඒ නිසාම මුදලාලිගේ යෝජනාව හිස් මුඳුනින්ම පිලිගත් ඇය ඕනෑම දිනයක ඊට සුදානම් බව කිව්වා ය.

ඊළග නිවාඩු දිනයක මුදලාලි ඇයවත් කැටුව කුරුණෑගල නගරයට ආවේ ය. එහි පිහිටි විශාල වෙළද ආයතනයක් අසලට ගිය ඇය දුටුවේ මුදලාලිගේ නම සහිත දැන්වීම් පුවරුවකි. "විමලසේන හාඩ්වෙයාර්" යනුවෙන් ලොකු අකුරෙන් එහි ලියා තිබුනි. ඊට නුදුරින් "විමලසේන ගොසරීස්" යනුවෙන් තවත් වෙලද සැලක් තිබුනේය. මේ සියල්ලම මුදලාලිට අයත් ආයතන බව විශ්වනී විශ්වාස කලා ය. ඉතිං විශ්වනී තමන්ට පැවරුනු රාජකාරිය ඉතා හොඳින් කරමින් සිටින බව අවබෝධ කරගත් මුදලාලි ඒ ගැන බෝහෝ සතුටට පත්වී සිටියේ ය. එදා මුුලු දවසම මෙම ආයතනයේ ගත කරන්නට ඇයට සිදුවූවා ය. ඒ නිසාම එහි සේවක සේවිකාවන් සමග කතා බස් කරන්නට ඇයට අවස්ථාව උදා වූවා ය. ඒ නිසාම ඔවුන් විශ්වනී ගැන යම් පැහැදිමකට පත්වී සිටිය හ. මේ භාරදූර කාර්‍යය එක් දිනකින් අවසන් කරන්නට නොහැකි එකක් බව ඇය මුදලාලිට පැවුසුවෙන් අවශ්‍ය ලේඛණ හා පොත්පත් වාහනයට පටවා ගත් මුදලාලි  "ඔයාට පුළුවන් මේවා ටික ගෙදර ඉදන් බලන්න. අද මම ඔයාව කැන්දගෙන ආවේත් ආයතන ටික දැක බලාගත්තාම ඔයාගේ වැඩේට ඒක පහසුවක් වෙයි කියලා හිතලයි" එසේ කීවා ය. එදා සිට ඇය පුහුණු කටයුතු නිමවා නිවසට පැමිණි පසු ඇග පත සෝදාගෙන කෙලින්ම තමන්ගේ කාමරයට වැදී රාජකාරිය ඉතා ඉක්මනීන් අවසන් කරන්නට යුහුසුළුවූවා ය. ඒ නිසාම තවත් දින කිහිපයකින් අදාල කාරිය අවසන් කර ඇය විසින් සකස් කල වාර්තාවද සමගින් මුදලාලී වෙත ලබා දුන්නා ය.

දහනවවන පරිච්ඡේදය:

ශෂිකා කියූ පරිදිම විශ්වනී බලන්නට ආවා ය. නාට්‍ය නිෂ්පාදකයා මුදලාලීගේ හිතවතෙකු වූ නිසාම සමහර රූ ගත කිරීම් මුදලාලිගේ නිවසේ සිදුකරන්නට කලින්ම තීරණය කරගෙන තිබූ බව ඇය දැනගත්තේ ඔවුන් පැමිණි පසුවය. මුදලාලිත් හාමිනේත් රහසින් කතා කරන්නට ඇත්තේ මේ ගැන වන්නට පුළුවන් යන සිතුවිල්ල ඒ මොහොතේ විශ්වනීගේ සිතට ඇතුළු වූවා ය. "නමුත් ඇයි එයාලා ඒක මගෙන් හැංඟුවේ. දැනගත්තයි කියලා මොකක්ද වෙන වෙනස?" විශ්වනීගේ කල්පනාවට පිලිතුර පසුදාම ඇයට අහන්නට ලැබුනේ ශෂිකාගෙන්ය. මුදලාලි මෙහි රූගත කිරීම වලට කැමැත්ත දී ඇත්තේ හිතවත් නිෂ්පාදකයාගේ දැඩි ඉල්ලීම අහක දැමිය නොහැකි තත්වයකදිය. රූගත කිරීම් නිවසේ සිදුවන බව කලින් දැනගත්විට විශ්වනීටද රඟපෑමට අදහසක් පහලවනු ඇතැයි මුදලාලි කල්පනා කර තිබුනි. මන්ද ඒ වනවිට තවත් තරුණියක් රඟපෑම සඳහා එකතු කර ගන්නට නිෂ්පාදකයා අදහස් කර තිබූ නිසා මේ ගැන මිතුරියන් අතර කතා බහෙදී හෙළවීමෙන් රුවෙන් ඉහල විශ්වනී වුවද රඟපෑම තෝරාගැනීමට ඉඩ ඇතැයි ඔහු සිතා තිබුනී.

"මං රඟපෑවට එයාලට මොකද? මම එයාලගේ ළමයෙක් යෑ බෝඩීම් උන පළියට කාගෙවත් ජීවිතවලට ඇඟිලි ගහන්න එයාලට කොහෙන්ද අයිතියක් ආවේ? කවුරු විරුද්ධ වුනත් මට හිතුනොත් මම රඟපානවා"  විශ්වනීට මුදලාලි ගැන තරහක් ඇති වුනා ය. "අනිත් අතට මං එහෙම හිතන එකත් වැරදියි. මට මෙයාලා බෝඩිම් කාරියකට වඩා දුවෙක් වගේ සැලකුවේ. රඟපෑම් වලට ගියාම ගොඩක් ගෑණු ළමයි නරක් වෙනවා කියලා කතාවකුත් තියෙන නිසා එයාලා මම එහෙම කෙනෙක් වෙනවට කැමති නැතුව ඇති. ඉතිං එහෙම මං ගැන හිතන මුදලාලි ගැන වැරදියට හිතන එක පව් වැඩක්."

සතියක් පුරා කරන ලද රූගත කිරිම් අවසන් කර ශෂිකා ඇතුළු පිරිස නික්ම ගිය පසු බෝඩිම් නිවස පාළුවකින් පිරී යන බවක් විශ්වනීට වැටහුනා ය. නමුත් ඔවුන්ගේ නික්ම යාම මුදලාලිටත්, හාමිනේටත් විශාල සතුටට කාරණයක් බව ඔවුන්ගේ හැසිරීම් තුලින් මනාව පිළිඹිබු වන්නට වූ හ. ඒ තමන් රඟපෑම සඳහා යොමු නොවීම නිසා උපන්නක් විය යුතුයැයි විශ්වනී දැඩි ලෙස විශ්වාස කලා ය.

පුහුණු ආයතනය තුලදීනම් විශ්වනී වෙනදාටත් වඩා ජනප්‍රිය චරිතයක් බවට පත්වී සිටියා ය. නමුත් එය දැකගන්නට විශ්ව නොමැතිවීම ගැන විශ්වනීගේ හිත කොනිති ගෑවා ය. ඒ වනවිට විශ්ව තමන්ගේ අධ්‍යයන කාලය සම්පූර්ණ කර ආයතනයෙන් නික්ම ගොස් මාස දහයකටත් වඩා කාලයක් ගතව තීබු බැවිනි.

තවත් මාසයකින් තමන්ටද අවසන් විභාගයට මුහුණදීමට සිදුවන අතර එයින් සති දෙකකට පමණ පසු සම්පූර්ණයෙන්ම ආයතනයට පමණක් නොව බෝඩිමටද සමුදෙන්නට ඇයට සිදුවනු ඇත. ඒ පිළිබදව සිතද්දි විශ්වනීගේ සිත දැඩි ලෙස රිඳුම් දුන්නේ ඇයිදැයි වටහා ගන්නට ඈ උත්සහා කලා ය. පුහුණු ආයතනයේ නම් තමන් හඳුනාගත් මිතුරු මිතුරියන්ගෙන් දුරස්වීමට සිදුවීම කණගාටුවකි. නමුත් බෝඩිම එය එසේ නොවේ එහි තමන් සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙකි. ඉතිං කණගාටුවීමට ඒ තුල කිසිත් නැත. නමුත් සත්‍ය එය නොවේ මෙහි නිවැසියන් තමන්ට සැලකුවේ ඔවුන්ගේම දරුවෙකු ලෙස සිතා ය. ඔවුන්ටද සමහරවිට තමන්ට තරමටම වේදනාවක් දැනෙනවා විය හැකිය. ඒ කෙලෙසදැයි, කුමණ තරමකටදැයි තේරුම් ගන්නට ඈ උත්සහා කලා ය. එය තමන්ගේ දරුවාගේ වියෝවෙන් කම්පිතව සිටින මව්පිය යුවලක් තමන්ගේ දෙවැනි දරුවාගේ වියෝවක් දරාගන්නවාටත් වඩා වැඩි ශෝකයක්ද විය හැකිය. නමුත් තමන් නික්ම යායුතුය. ඉන්පසු රැකියාවක් සොයා ගත යුතුය. මව්පියන් දරන බරට අත් උදව් දිය යුතුය. මේ තමන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අභියෝග බව ඇය සිතුවා ය. සිහින තුල ජීවත්වීමෙන් පමණක් ඉදිරියට යා නොහැකිය. ඒ සඳහා ධෛරය හා කැපවීම තිබිය යුතුය. ඒ සඳහා ජීවිතය පෙල ගැස්විය යුතුය යන දැඩි අධිශ්ඨානශීලි සිතුවිල්ලකින් හදවත පුරවාගත් ඇය සියල්ල යහපත් වනු ඇතැයි සිතුවා ය.

විසිවන පරිච්ඡේදය:

එදා විශ්වනී පුහුණු ආයතනයට නොගිහින් විභාගය සඳහා නිවසේ සිටම පාඩම් කල යුතු බව සිතා ගත්තා ය. උදෑසන ආහාර ලබාගැනීමෙන් පසු පොතක් අතැතිව ඇය මිදුලට බැස්සේ නිස්කලංක තැනකට ගොස් පාඩම් කිරීමේ අරමුණ ඇතිවයි. තවමත් මුදලාලි රිය මිදුලේ නවතා ඇති බව දුටු විශ්වනී මුදලාලි අද කොහෙවත් ගිහිල්ලා නැත්තේ අසනීපයක්වත්දැයි කල්පනා කලා ය. නමුත් මුදලාලි හාමිනේ වෙතින්ද එවැන්නක් දිස්නොවුයෙන් තමන්ගේ මතකයෙන් බැහැරවී ගිය අද දවස නිවාඩු දිනයක්වත්දැයි සිහිපත් කලා ය. නමුත් එවැන්නක්ද නොවේ. එසෙනම් ඇයි අද මුදලාලි ගෙදරම ඉන්නේ? ටික වේලාවක් කලපනා කරපු විශ්වනී යම්කිසි වැඩකට නතර වන්නට ඇතැයි ඇයටම පිළිතුරක් සපයා දී තමන්ගේ පාඩම් කටයුතුවලට මනස යෙදවූවා ය. ගතවූයේ පැයක පමණ කාලයකි. වත්තට කලු පැහැති කාරයක් ඇතුළුවූවේ ය. විශ්වනි දෑස් නොසොල්වා බලා හිටියේ මෙවැනි රථයක් ඇය ඉන්නා කාලය තුල මෙහි පැමිණ තිබූ නිසාවෙනි. මිදුලේ නැවැත්වූ කාරයෙන් තරුණ වයසේ පසුවන අයෙකු බැස්සේ විශ්වනීටද සුහඳ සිනාවකින් සංග්‍රහ කරමිනි. වැදගත් පෙනුමකින් යුක්ත ඔහු කලු කලිසමකින් සහ සුදු කමිසයට උඩින් කලු කබායක් ඇඳ ටයි පටියක්ද බෙල්ලේ බැදගත් අයෙකි. බැලූ බැල්මටම ඔහු නිතිඥයෙකු විය හැකි බව විශ්වනී විශ්වාස කලා ය. "මුදලාලි ඉන්නවද? "  ඔහු විශ්වනීගෙන් සුහඳශීලිව ඇසුවේ ය. විශ්වනී ඊට පිලිතුරු දුන්නේ හිස වනා ඉන්නා බව අඟවමිනි. එයින් සෑහීමකට පත් ඔහු නිවෙස දෙසට ඇවිද ගියේ ය. එවිටම ගෙතුලින් එළියට බට මුදලාලි හාමිනේ ඔහු සමග කුමක්දෝ කතා කර ගෙතුල දෙස පෙන්නුවා ය. ඔහු ගෙතුලට ගියේ ය. ඔහු පිටුපසින්ම ගෙට ගිය මුදලාලි හාමිනේ මද වේලාවකින් නැවතත් මිදුලට පැමිණ විශ්වනී දෙසට ආවා ය. "කවුද හාමිනේ ඒ? "  විශ්වනි තමන් ආසන්නයට ආ හාමිනේගෙන් ඇසුවා ය. "ආ... ඒ... මේ... මුදලාලි අඳුරන පෙරකදෝරු මහත්තයෙක්. මුදලාලි බිස්නස් වැඩ වලදි නීතී උපදෙස් ගන්නේ ඒ මහත්තයගෙන් "  හාමිනේ උත්තර දුන්නා ය. "මම හදලා දුන්නු ගිණුම් වාර්තාවේ මැනේජර්ලගෙන් වුනු  අඩුපාඩු වගයක් පෙන්නලා තිබුනා. ඒ ගැන මොකක් හරි කරන්නද දන්නේ නෑ මුදලාලි මෙයාට එන්න කිව්වේ. අනේ එහෙම උනොත් ඒ මැනේජර්ලට කරදරයක් වෙයිද? "  මේ අතරේ ජගත්ගෙන් විශ්වනීට දුරකථන පණිවිඩයක් ලැබිලා තිබුනා. හාමිනේ ඒකට උත්තර දීලා තිබුනේ මේ වෙලාවේ ඇය පාඩම් කටයුතු වල නියැලිලා ඉන්න නිසා දවල් වෙලා ආපහු ගන්න කියලා තමයි ඇය ජගත්ට කියලා තිබුනේ. මේ කතාව විශ්වනී දැනගත්තේ දවල් ජගත් ආපහු විශ්වනීට දුරකථනයෙන් කතා කරපු වෙලාවේ. "වෙනදටනම් හාමිනේ මට එන දුරකථන පණිවිඩය ගැන එවෙලාවෙම කියනවා. අද සමහරවිට මම ඒකට උත්තර දෙන්න ගේ ඇතුලට යන එක වලක්වන්න වෙන්න ඕනා පණිවිඩේ නොකියා හිටියේ. ඒ කියන්නේ මමවත් දැනගන්න ඕනා නොවෙන රහසිගත සාකච්ඡාවක් වෙන්න ඇති අර පෙරකදෝරු මහත්තයත් එක්ක තියෙන්නේ "  විශ්වනී එහෙම හිතලා හිත හදාගත්තා.

ජගත් ටික වෙලාවක් ඇය සමග කතා කරලා ඊට පස්සේ ඇයගේ අම්මාට දුන්නා. "දැන්නම් තාත්තා හොඳ අතට හැරීගෙනයි එන්නේ. යමක් අල්ලගෙන ඇවිඳින්න වුනත් පුළුවන් මම හිතන්නේ තව සතියක් දෙකක් යද්දි හොඳටම හොඳ වෙයි. ඒ හින්දා මේ සැරේ ඔයාව කැන්දගෙන යන්න අපි එන්නයි හිතාගෙන ඉන්නේ. අපි දවසකට කලින් එන්නම්. ඔයා මුදලාලිලාට කියලා තියන්න. විභාගෙත් ළග හින්දා එහෙනම් ඔයා පාඩම් කරන්න. මම තියන්නම් ඔයාට බුදුසරණයි!"  තාත්තා සනීප වෙමින් ඉන්නවා කිව්වාම විශ්වනීට හරිම සතුටක් සතුටක් හිතුනා.

එදා දවල් කෑම මේසේට අර ආපු අමුත්තා. ඒ කියන්නේ පෙරකදෝරු මහත්තයත් සම්බන්ධවුනා. ඇයගේ අධ්‍යාපන කටයුතු ගැන විතරයි ඔහු එහිදි කතා කෙරුවේ. ඒ හින්දා කෑම මේසේ වැඩි වෙලාවක් ගතවුනේ නිශ්ශබ්දවමයි. කෑමෙන් පස්සේ ආපහු ඔවුන් මුදලාලිගේ කන්තෝරු කාමරේට වැඳුනා. ඇය පාඩම් කරන්න එළියට බැස්සා. හොඳටම හවස් වෙලා තමයි ඔහු නිවසෙන් පිටවෙලා ගියේ. ඒ යද්දිත් ඔහු ඇයට යන්නම් කියලා ගියේ සුපුරුදු සිනාවෙන් මුව සරසගෙනයි. ඊට පස්සේ ගතවුනු කාලය ඇතුලෙත් ඔහු කීප වතාවක්ම නිවසට ආවා ගියේ ය.

විශ්වනී අවසන් විභාගයට මුහුණ දුන්නා ය. ප්‍රතිපල ලැබෙනතුරු වගේම නික්ම යාමේ හා සහතිකපත් ප්‍රධානය කිරිමේ උත්සවය තවත් සතියකින් පැවැත්වෙන බව ඔවුන්ට දන්වා තිබු අතර උත්සවය සඳහා දෙමව්පියන් හෝ භාරකරුවන් සඳහා සහභාගිවීමටද අවස්ථාව ඇතැයි ආයතනය නිල වශයෙන් දැණුම්දී තිබුනා. මව්පියන් එන්නට යොදාගෙන ඇත්තේ උත්සවය පැවැත්වෙන දිනට දින දෙකකට පසුව බැවින් ඇයට උත්සවයට සහභාගීවන්නට සිදුවන්නේ තනියෙන්ම බව දැනීමෙන් ඇගේ හිතට දුකකුත් ඇතුළු වූවාය. "අනිත් අයගේ දෙමව්පියෝ ඔක්කොම එයි. ඒගොල්ලෝ සතුටුත් වෙයි. මම සහතිකේ ගන්න එක දැකගන්න අම්මලා ඇවිත් හිටියනම් කොච්චර හොඳද? "  ඇයගේ දුක්මුසු සිතුවිල්ල හාමිනේ තේරුම් ගත්තා විය යුතුය. "ඔයාගේ උත්සව දවසට අම්මලා එන්නේ නෑ නේද? ඔයාගේ අකමැත්තක් නැත්නම් මමයි, මුදලාලියි එන්නම් ඔයාගේ භාරකාරයෝ විදිහට"  ඒ කතාව ඇහැව්වාම ඔවුන් ගැන තිබුනු ගෞරවය දෙගුණ තෙගුණ වෙලා දැනෙන්නට වුනා ය. සතුට වැඩිකම නිසාදෝ ඇය එක්වරම මුදලාලි හාමිනේව බදා වැලඳගත්තා ය. සතුට වචනවලට පෙරලා ඇයට තුති පුදකලා ය. හාමිනේගේ නෙතේද කඳුලක් උපන්නා ය.

 

විසි එක්වන පරිච්ඡේදය:

එදා පුහුණු ආයතනය මගුල් ගෙයක සිරි ගත්තේ ය. නන් දෙසින් පැමිණි දෙමව්පියන්, වැඩිහිටියන්ගෙන් භූමිය පිරි ඉතිරි ගියේ ය. පිරිමි ළමුන් කලු කලිසම හා සුදු අත්දිග කමිසවලින් සැරසි සිටි අතර ගෑණු සිසුවියන් සුදු සාරියකින් සැරසි සිටියේ ආයතනය කලින්ම කල දැණුම් දීමකට අනුවයි. විශ්වනී සාරියකින් සැරසුනු මුල්ම දිනය වූවේත් මෙදිනයි. හාමිනේ ඇයට සාරිය අඳින්නට උදව් කෙරුවා පමණක් නොව සාරියක් මිළදි ගැනීමට උත්සහා කල අවස්ථාවේ ඇය ළග තිබුනු හොඳම වටිනාම සුදු සාරිය ඇයට ලබා දුන්නා ය. මෙවැනිමවූ උත්සව දෙකක් සියසින්ම දැක තිබුණත් විශ්වනීට ඒවා අද තරම් ආශ්වාදජනක ලෙස හැඟුනේනම් නැති තරම්ය.  "අනේ... අම්මයි, තාත්තායි හිටියනම්. අඩුම තරමේ ජගත්වත් හිටියනම් අද කොච්චර සතුටු වෙයිද?  " විශ්වනිට දැණුනේ මහා දුකක්. කොහොමින් කොහොම හරි උත්සව කටයුතු ආරම්භවුනා. විශ්වනී ඉහළම ආකාරයෙන් සමත්වී තිබීම ඇයට විතරක් නෙමේ මුදලාලිටයි හාමිනේටයි දෙන්නටත් ගොඩාක් සතුටු හිතෙන කාරණයක් වගේ පේන්න තිබුනා.

උත්සවය ඉවරවෙලා නිවසට ගිහින් හවස් වරුවම ඇය කලේ තමන්ගේ කාමරයට වැදි නිදාගත්තු එක. තමන් මේ කාමරයේ රැඳී සිටින්නේ තව රැයවල් දෙකක් පමණක් නොවෙදැයි ඒ අතරේ ඇය හිතුවා ය. එය සිහිපත්වීමෙන් ඇගේ හුස්ම ටික මොහොතකට හිරවෙනවා වැනි ගතියකින් ඇය පීඩා වින්ඳා ය. තරුණ තමන්ට එය එලෙස දැනෙද්දි වයසක මුදලාලිටත් හාමිනේටත් එය කුමන ලෙසින් දැනෙනවාදැයි ඇය යළිත් කල්පනා කලා ය. ඇත්තටම ඔවුන්ට තමන් නැති අඩුව කප්පරක් සේ දැනෙනවා වන්නට පුළුවන ඔවුන් ඒ තරමටම තමන්ට ආදරයෙන් සිටි බව ඇය හොඳින්ම දැන සිටියා ය.

ඇය නින්දෙන් පිබිදුනේ මුදලාලි හාමිනේ කාමරයට පැමිණ ඇය කූද්දවා ඇහැරීම නිසා ය. "අන්න දුවට මුදලාලි කතා කරනවා. දුවත් එක්ක වැදගත් යමක් කතා කරන්න තියෙනවලු  "  හාමිනේ එලෙස කියනවිට විශ්වනීට ඒ කුමක් විය හැකිදැයි කල්පනා කලා ය. කල්පනාව පිටම ඈ හනිකට නාන කාමරයට වැඳුනේ කඩිනමින් මුහුණ කට සොදා ගැනීම සඳහා ය.

"අර ආපු පෙරකදෝරු මහත්තයාව මට ජෝඩු කරන්නද දන්නෙත් නෑ. එහෙම උනොත් මං මොකද කරන්නේ? ඔන්න ඔහේ ඇත්ත කතාව කියලා දානවා. එතකොට මුදලාලි මං ගැන වැරදියට හිතයිද? නෑ එහෙම වෙන එකක් නෑ "

"ඒ කාරණාවත් නෙමෙයිනම් දරුවොත් නැති එකේ මුදලාලිගේ දේපලවත් ලියලා දෙන්න හිතනවද දන්නේ නෑ"

 "අයියෝ මොනවද මං මේ හිතන විකාර "

"සමහරවිට මුදලාලි ළග රස්සාවක් කරන්න කියලා ඉල්ලන්න වෙන්න ඇති . ඔව් එතකොට මට රස්සාවට යන්න වෙන්නෙත් මෙහෙ ඉදලානේ මුදලාලි හාමිනේගේ තනියට කෙනෙක් ඉන්න එක ගැන හිතලා තමයි මුදලාලි ඔහොම තීරණයක් ගන්නේ "

"රස්සාව හම්බ වෙනවනම් හොඳයි තමයි. ඒත් අම්මා තාත්තා ළග නැතුව ගෙවපු මේ අවුරුදු තුන කොච්චර අමාරු වුනාද? අනිත් අතට ජගත්. එහෙම උනොත් මුදලාලිට කියලා මෙහෙන්ම ඉඩමක් ගන්නවා ඊට පස්සේ පුළුවන්නේ අම්මවයි තාත්තාවයි දෙන්නවත් ගෙන්න ගන්න. ජගත්ටත් මෙහේ රස්සාවක් හොයලා දෙනවා එතකොට ඔක්කොම හරි. ඒ ඉඩමේ හදන ගේ සිටුමාළිගයක්ම වෙයි " විශ්වනී දිගින් දිගටම කලපනාවේ යෙදෙමින් මුහුණ කට සෝදා වෙනත් ගවුමකින් සැරසී ඉස්තෝප්පුවට ආවා ය.

"දුව ඔහෙන් වාඩිවෙන්නකෝ " මුදලාලි බොහොම ආදරයෙන් තමයි ඇයට කිව්වේ. හාමිනෙත් කොහෙදෝ ඉදන් ඒ වෙලාවෙම එතනට ආවා ය. විශ්වනී වාඩිගත් තැනම ආසන්නයෙන් ඇයත් වාඩි වූවා ය. ඇගේ මුහුණේ කවරදාටත් වඩා එලියක් දිස්න දෙනවා නොවෙදැයි විශ්වනී කල්පනා කලා ය.

මද වෙලාවක් නිහඬව නිසොල්මන්ව තිබුනේ කතාව කොතනින් පටන් ගත යුතුදැයි මුදලාලි කල්පනා කරන්නට ගත් කාලය නිසා විය යුතුය. අනතුරුව හඬ අවදිකල මුදලාලි " අපි දුවට මෙච්චර දවසක් කිව්වේ බොරු "

" මොනවද මුදලාලි මට කියපු බොරු " විශ්වනී මනැසින් විමසුවා ය. " අපිට පුතෙක් ඉදලා නැති වුනා කිව්වේ අන්න ඒක තමයි බොරුව "

" ඒ කියන්නේ මෙයාලට දරුවෝ ඉදලා නැද්ද? " විශ්වනී විශ්වනීගෙන්ම ප්‍රශ්ණ කලා ය.

" අපිට පුතෙක් හිටියා හැබැයි එයා නැතිවුනේ නෑ තාමත් ජීවතුන් අතර ඉන්නවා " මුදලාලි දුක්බරව පැවසුවේ ය.

" පෙරකදොරු මහත්තයද එතකොට මෙයාලගේ පුතා. නෑ නෑ වෙන්න බෑ එයා ගොඩාක් තරුණයිනේ. මුණුපුරෙක් මිසක් එයා මෙයාලගේ දරුවෙක් වෙන්න බෑ " විශ්වනී තමන් සමග තනිවම තර්ක කලා ය.

" ඒ තමයි ඔයලාගේ තාත්තා විමලසේන. එයාගේ නමින් තමයි මගේ ව්‍යාපාර ඔක්කොම තියෙන්නේ " විශ්වනීට හයියෙන් හඬන්නට සිතුනා ය. හාමිනේ ඇයට කිට්ටුවී ඇගේ හිස අතගැවා ය.

නිමි.

පසුසටහන:

විමලසේන නිවස හැර ගොස් ටික දිනකින්ම පීටර් කැකිරාවේ තිබු සියළු දේපල විකුණා කුරුණෑගලට පැමිණ තිබේ. විශ්වනී බෝඩිමක් සොයා පැමිණි දිනයේ ඇයගෙන් කරන ලද විමසීම් හමුවේ මුදලාලි හාමිනේ මේ තමන්ගේ මිණිපිරිය බව දැන ගත්තා ය. අවසානයේදි තමන්ගෙන් වූ වැරැද්ද නිවැරදි කර ගැනීම සුදුසුයැයි තීරණය කල පීටර් මුදලාලි පෙරකදොරුවෙකු හරහා තමන්ගේ සියළු දේපල මිණිපිරියවූ විශ්වනී නමට පවරන්නට කටයුතු යොදා තිබුනි. සියල්ල අවසානයේ නුග ගහ යට බුදුමැදුරක් සකස්කලේ අනාවැකි කියු නාදුණන පුද්ගලයාගේ ඉල්ලීමට අනුවය.

 

ස්තුතිය...........

මා මෙලොවට බිහිකල ආදරණීය මෑණියන්ටත්, පියතුමන්ටත්, අකුරු කරන්නට ශිල්ප පෙවූ දයාබර ගුරු මව්පියවරුන්ටත්, සෙනෙහසින් සැමදා ලංව උන් මාගේ සහෝදර සහෝදරියන්ටත්, කුඩාකල පටන් ජීවිතයේ නොයෙකුත් අවදිවල මා හා බැඳි මිතුරු මිතුරියන්ටත්, මාගේ දයාබර බිරිඳ තුෂාරිටත්, ආදරණිය දියණිවරුන් වන හසංගනා සහ මිහිරංගනා දෙදෙනාටත්, කවිපද බඳින්නට කියා දුන් මාවනැල්ලේ කාංචනා පෙතියාගොඩ නැගණියටත්, කෙටිකතාවක් ලිවීම සඳහා පුහුණු කරවූ ප්‍රියන්ති ගුණරත්න මහත්මියටත්, නිර්මාණවල අඩුපාඩු පෙන්වා දෙමින් සහ සාර්ථකත්වය කියා දෙමින් අනුසාසනා කල මහව ධම්මචාරි මෙහෙනින් වහන්සටත්, නිර්මාණ රස විඳිමින්, අදහස් ලබා දෙමින් මා දිරිමත් කල මුහුණු පොතේ මිතුරු මිතුරියන්ටත්, කලක් නිහඬව සිටි මා පණ පුබුදුවා දිරිමත් කල පමිතා මධුශානි සොයුරියටත්, මා සේවය කරන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් ඇතුළු සියළුම සහෝදර නිලධාරින්ටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුදකරමි.

 


කුලරත්න ජයසේකර (ප්‍රියන්ත)

98, යාපා මාවත,

ආරච්චිකට්ටුව

2021/12/23

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


No comments: