ළපටි පත්‍ර---
නගරයෙන් කිලෝමීටර් 12ක පමණ දුරකින් පිහිටි දුෂ්කර ගම්මානයක
පිහිටි පාසැලක්. පබාවති
කියන්නේ එම පාසැලේ දහවන පන්තියේ ඉගෙන
ගන්න දක්ෂ සිසුවියක්. සිසු සිසුවියන්
දහයක් පමණක් ඉන්නා මේ පන්තියේ ඇයට
අභියෝග කරන්නට හිටියේ මුතු මැණිකේ
විතරමයි. අධ්යාපනයට මෙතරම් දක්ෂවූ පබාවති හරිම සුන්දර යුවතියක් වුනත් ඇගේ පවුල්
පරිසරයනම් එතරම්ම සුන්දරදැයි සැක සහිතය. ඇයගේ පවුලේ සාමාජිකයින් ගණන පහක්
අම්මා, තාත්තා සහ ඇයට වඩා බාල සහෝදරයෙකුත් සහෝදරියකුත් තමයි ඒ කට්ටිය.
ඇය තමයි පවුලේ වැඩිමල් දරුවා වුනේ. කටු මැටි ගහපු බිත්ති පොල් අතු
වහලෙට සෙවිලි කරලා කිසි පිලිවෙලක් නැති නිවසක්. පියාගේ රැකියාව වුනේ
ගොවිතැන. ඔව් හේන් ගොවිතැන. මේ හේන පිහිටලා තිබුනෙත් නිවසේ
ඉදන් කිලෝමීටරයක් විතර දුරින්.
පබාවතිගේ අම්මාට හවුල් අයිතියක් තිබුණු
ඉඩමක තමයි තාත්තා ගොවිතැන් කෙරුවේ.
ඒකත් හවුලටම තමයි. පබාවතිගේ ඇවැස්ස
මස්සිනා ඒ කියන්නේ අම්මාගේ සහොදරයෙකුගේ
පුතෙක් වෙච්චි ජිනදාස තමයි මේ හවුල්
කාරයා වුනේ. ඇවැස්ස නෑකම හින්දමද මන්දා
පබාවති වැඩිවිය පැමිණුනාට පස්සේ
මස්සිනාගේ බැල්මත් වැඩිවුනා. ඒත් ඒකටනම්
පබාවති එතරම්ම කැමතිවුනේ නෑ. අව්වට
පිලිස්සිලා කලුපාට වෙච්චි හම, වයසිනුත් අවුරුදු දහයක් විතර
වැඩිමල්කම විතරක් නෙමේ මහා දඩබ්බර ගතිගුණවලටත් කවුද කැමති වෙන්නේ? එච්චරද
හැමදාම හොර ගුබ්බෑයම් වලට රිංගලා කණමදයා වගේ බොන බේබදුකමකුත් මිනිහට
තියෙනවා.
පබාවති ඉගෙනගන්නවට විරුද්ධවුනේ මුතුමැණිකේ විතරක් නෙමේ පබාවතිගේ අම්මත් හැමතිස්සෙම කිව්වේ ගෑණු ළමයි ඕනාවට වැඩිය ඉගෙන ගන්න ඕනා නෑ. මොකද ඉගෙනගත්තයි කියලා දිසාපති වෙන්නයෑ ඔය නවය කැලෑසියට ගියාම මදැයි. ඊට පස්සේ හේනේ වැඩට උදව් කරන්න යන්න කියලා. ඒ කතාව අස්සේ තිබුනේ පබාවතිව මස්සිනාට බන්දලා දීලා ඉඩම තනි භුක්තියට ගන්න අදහස කියලා පබාවතිගේ තාත්තා දැනගෙන හිටියත් ඒ ගැන මුකුත්ම කිව්වේ නැත්තේ අම්මගේ කච කචේ අහන්න බැරි හින්දමයි. අම්මා කොච්චර විරුද්දවුනත් පබාවති දහයේ පන්තියටත් පාස්වෙලා දිගටම ඉස්කෝලේ ගියා. අම්මටත් හොරෙන් තාත්තා පාසලේ අඩුපාඩු ගැන හොයා බැළුවා. හේනේ වැඩ ඉවර කරලා ඇවිල්ලා දුවගේ ඉගෙණිමේ කටයුතු ගැන අහන්න කවදාවත්ම අමතක කෙරුවේ නෑ. මේ හැම තිස්සෙම අම්මා පුප්පනවා දුවව නරක් කරනවා කියලා. දවසක් පාට පෙට්ටියක් ඕනා කියලා තාත්තා ඒක පබාවතිට ගෙනත් දුන්නා. එදා තාත්තාට නිදා ගන්න උනෙත් එළියේ. ඒ පැය ගානම අම්මා කෙරුවේ බැනපු එක.
කොහොමින් කොහොම හරි මේ කාලේ දිවයිනේ ප්රසිද්ධ වැඩිදුර අධ්යාපන ආයතනයක් එයාලගේ විසිපස්වන ශාඛාව පබාවතිලට ආසන්න නගරයේ විවෘත කරන්න කටයුතු යොදලා තිබුනා. ඒ හින්දා රටේම තියෙන් අති දුෂ්කර පාසැල් විසිපහක් තෝරාගෙන විභාගයක් මගින් දක්ෂ ළමයින් විසි පහකට ශිෂ්යත්වයක් පිරිනමන්න තමයි ඒ අය යෝජනා කරලා තිබුනේ. මේකට පබාවතිලගේ ඉස්කෝලෙත් තෝරගෙන තිබුනා. මේ තොරතුර ඉස්කෝලේ ලොකු මහත්තයා දහයේ පන්තියටම ඇවිල්ලා කිව්වා හැමෝම විභාගෙට සුදානම් වෙන්න කියලා. එදා හවස මුතු මැණිකේ ගෙදර ගියේ අඩි හප්පගෙන. කෙලින්ම තමන්ගේ කාමරයට ගිය මුතු මැණිකේ පාසල් ඇඳුම පිටින්ම ඇඳට වැටුනා. අම්මා කිහිපවිටක්ම ඇවිත් කන්න කිව්වත් මුතු මැණිකේ නෙමේ ඔළුව උස්සලවත් බැලුවේ. හවස කිරි එක ගෙනත් මේසේ උඩින් තිබ්බත් ඒක බිව්වෙත් නෑ. ටික වෙලාවකින් බාල මහත්තයා ගෙදර ආවා. අම්මා දුව කෑවෙත් නෑ කිරි එක බිව්වෙත් නෑ මොනවා වෙලාද කියලා කිව්වෙත් නෑ ඔයාම අහලා බැලුවනම් හරි කියලා නෝක්කඩු ස්වරයෙන්ම කිව්වා. කාමරය ඇතුලට ආපු බාල මහත්තයා මේසේ උඩ තිබුනු කිරි එක අතට අරන් ඇඳේ පැත්තකින් වාඩිවෙන ගමන්ම දුවට බොහෝම ආදරයෙන් කතා කෙරුවා. මුතු මැණිකේ එකපාරටම ගැස්සිලා ඇහැරුනා. එක වරක් විතරක් තාත්තා දිහා බලලා ආපහු අහක බලාගෙනම නිදාගෙන හිටපු ඉරියව්වෙන් නැගිටලා ඇඳ විට්ටමට හේත්තු වුනා. කිරි එක බොන්න බාල මහත්තයා කිරි වීදුරුව මුතු මැණිකේ දිහාවට දික්කෙරුවා. මුතු මැණිකෙත් කිසිම සද්දයක් නැතුවම කිරි එක අතට ගත්තා. ඊට පස්සේ හෙමින් හෙමින් ඒක තොල ගාන්න ගත්තා. ඒ අතරේ බාල මහත්තයා මුතු මැණිකෙගේ ඔළුව අතගාමින් ඈව සනසන්න උත්සහා කරමිනුයි හිටියේ. කිරි වීදුරුවම බීලා ඉවරවුනාට පස්සේ බාල මහත්තයා දුවගෙන් ඇහැව්වා දුක් වෙන හේතුව. පවත්වන්නට යන විභාගය ගැන වගේම පබාවති දිණන එක ගැන එහෙම උනොත් තමන්ට නොලැබෙන ශිෂ්යත්වය ගැනත් ඇය තාත්තාට පැහැදිලි කරලා දුන්නා. ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්න මම ඒක බලාගන්නම්. අනිවාර්යෙන්ම ඔයා තමයි මේ ශිෂ්යත්වය දිනන්නේ ඒක මේ තාත්තාගේ පොරොන්දුවක් කියලා ඇඳෙන් නැගිටපු බාල මහත්තයා ආපහු ඇවිත් තමන්ගේ ජීප් එකේ නැගිලා ඉගිලිලා ගියා.
හේනේ පැල ඇතුලේ දඩ මසකුත් එක්ක බෝතලයක් හිස්කරන ගමන් බාල මහත්තයා ජිනදාසට යෝජනාවක් කරනවා. ඒ තමයි හැමදාමත් තනිකඩව ඉන්නද කල්පනාව. දැන් තමුසෙගේ කලවයසත් ගෙවිලා යනවා නේද? නෑනා ඉගෙනගෙන රස්සාවක් කරන්න ගත්තොත් ඒකි වෙන කාට හරි බහ දෙයි එතකොට තමුසෙට වෙන්නේ වහ කන්න. ඒ හින්දා ඔය ඉස්කෝල ගමන නවත්වලා මොකක් හරි පිලිවෙලක් කර ගන්නවා. සල්ලි කරදරයක්නම් ඒවා මම බලාගන්නම්. පුළුවන්නම් අදම ගිහින් මංගල්ලේ ගැන නැන්දත් එක්ක කතා කරනවා. ජිනදාසටත් බාල මහත්තයා කියපු කතාව ඇත්ත තමයි කියලා හිතුනා. ඒ හින්දා එදා හැන්දෑකොරේ පබාවතිලගේ ගෙදර ගිය ජිනදාස තමන්ගේ යෝජනාව නැන්දම්මට කිව්වා. නැන්දම්මත් එක පයින් වැඩේට කැමතියි. පිලේ වාඩි වෙලා මේකට කන් දීගෙන හිටපු පබාවතිගේ තාත්තා නෑ නෑ තවම ඕවට හදිසියක් නෑ. කෙල්ල ඔන්න ඔහේ ඉගෙන ගත්තාවේ. ඊට පස්සේ බලමු කාරණා කටයුතු කරන්නේ කොහොමද කියලා. මොනවා උනත් කෙල්ලගේ කැමැත්තට තමයි මුල්තැන.
කොහොමින් කොහොම හරි විභාගේ තියෙන දවසත් ආවා. උදේ නැගිටලා මූණ කට දොවාගෙන ගෙට ආවා විතරයි අම්මා පබාවතීට කිව්වා කඩේට කිරි ගෙනිහිල්ලා දෙන්න කියලා. වෙනදටනම් කිරි ගෙනියන්නේ අම්මා. අද ඇයි මේ කියලා හිතුනත් ප්රශ්ණ නොකරම පබාවති කිරි එකත් අරන් පිටවුනා. කඩේට ගියහම කඩේ නැන්දා බැන්නා කිරි ගේන්න පමා වුනා කියලා. ඒ හින්දා ගෙනාපු කිරි එක රත් වෙන්න ලිපෙන් තියන්න කිව්වා. හනිකට හනිකට ඒ වැඩේ කරලා පබාවති යන්න පිටත්වුනාම කඩේ නැද්ද කිව්වා මොකද මේ හදිස්සිය සල්ලි අරන් යන්න ඉදපන් කවුරු හරි ගැණුම් කාරයෙක් කඩේට එනකම් ටිකක් ඉදපන් කියලා. ඒ වෙද්දිත් ඉස්කෝලේ යන්න පරක්කු වෙලා තිබුනේ. ඒත් මොනවා කරන්නද? දෙවියන්ට කිය කිය හිටියා. අනේ ඉක්මනින්ම කාව හරි කඩේට එවන්න. ගෙවෙන හැම තප්පරේකම හිතින් හිතුවේ ඒ විදිහට. පබාවතිගේ වාසනාවටද මන්දා කෙනෙක් ආවා කඩේට රාක්කයෙන් හැලපයක් අරන් කන ගමන් කිරි එකක් ඉල්ලගෙන බිව්වා. ඒකටත් පැය භාගයක් විතර කාලේ ගියා. කාපුවට සල්ලි ගෙවලා ගීයාට පස්සේ කඩේ නැන්දා දුන්නු සල්ලිත් අරන් ඉක්මනින්ම පබාවති නිවසට දිව්වා.
මේ අතරේ මුතු මැණිකේ බොහොම සන්තෝසයෙන් පාසලට ගොඩවැදුනා. අදනම් තමන්ගේ ජයග්රහණය ස්ථීරයි කියන විශ්වාසය තමයි ඇයගේ හිතේ තිබුනේ. විභාගය පවත්වන වෙලාවත් කිට්ටුයි. ආයතනයේ අය ඇවිත් ප්රශ්ණ පත්‍ර බෙදන්න ලැහැස්තිවුනා. ඒ වෙලාවේ එතනට ආපු ලොකු ඉස්කොලේ මහත්තයා අර ආයතනයේ අයට කිව්වා තව ටික වෙලාවක් බලමුද ළමයෙක් අඩුයි කියලා. මුතු මැණිකේ රහසින් වගේ එයා එන්නේ නෑ කිව්වා. ඒක ලග හිටපු ළමයෙකුට ඇහුනා. පුදුමයෙන් වගේම සැකයකින් මුතු මැණිකේ දිහා බැලුවත් එයානම් ආඩම්බරයකින් වගේ තමයි හිටියේ. ඔය අතරේ පබාවති පමා වෙලාවුනත් ඉස්කොලෙට එන්න පිටත් වෙලා තිබුනා. වෙල් උඩින් පැනගෙන වෙනදට යන්නේ නැති කෙටිවුනත් කැලෑවකින් වැහුනු පැත්තකින් තමයි අද පබාවති ඉස්කෝලෙට යන්නේ. ඒ මොකද ඉක්මණින්ම යන්න ඕනා නිසා. ඒත් පබාවතිට එච්චර දුරක් යන්න වුනේ නෑ එකපාරටම එයාගේ මග හරස් කෙරුවේ බාල මහත්තයාගේ චණ්ඩි තුන්දෙනෙක්. උන් ඇවිත් පබාවතිව අල්ලගන්න යද්දි පබාවති අහකට පැන්න පාර විසිවෙලා ගිහින් එතන තිබුනු ඇලකට වැටුනා. තෙමුනු ගවුම පිටින්ම නැගිටිද්දිම. අර මැරයෝ තුන්දෙනා පබාවතීව අල්ලගත්තා. සැකය බය ඇතුලේ ඇයට හැම දෙයක්ම පැහැදිලි වෙමිනුයි තිබුනේ. ඒ හින්දා අඬ අඬාම කිව්වා තමන්ව අත අරින්න කියලා. ඒත් උදේම මත්පැනින් සප්පායම් වෙලා හිටපු මේ නරුමයින්ට ඒක ඇහුනෙවත් නෑ. ගතවුනේ නිමේෂයයි පබාවතීව අල්ලගෙන හිටපු එක මැරයෙක් කැරකිලා බිම වැටුනා. පබාවති ඔලුව උස්සලා බලද්දි ජිනදාස හිටගෙන ඉන්නවා. පබාවතීව අත ඇරපු අනිත් උන් දෙන්නා පැන්නා ජිනදාස දිහාවට. පැනලා අල්ලගත්තා ජිනදාසව තද කරලා. ජිනදාස පබා දිහාට හැරිලා කිව්වා ඔයා යන්න මම මුන් ගැන බලාගන්නම් කියලා. යනවද නොයනවද කියලා තීරණයක් ගන්න බැරිව පබා ටික වෙලාවක් බලාගෙන හිටියා. ආයෙත් ජිනදාස කෑගහලා කිව්වා යන්න කියලා. එතකොට පබාට විභාගේ ගැන මතකයට ආවා. විගහට විගහට දිව්වා ඉස්කෝලේ තියෙන පැත්තට.
ගේට්ටුව දිහාම බලාගෙන හිටපු ලොකු ඉස්කෝලේ මහත්තයා දැක්කා පබාවති දුවගෙන එන හැටි. ලොකු මහත්තයත් දිව්වා පබාවති එන දිහාවට. අතින්ම ඇදගෙන කෙලින්ම විභාග ශාලාවට. ඒ වනවිටත් විභාගේ පටන් අරන් පැය භාගයක් විතර ගෙවිලා තිබුනත් ආයතනයේ මහත්තයා කැමතිවුනා ඇයට විභාගයට ලියන්න අවස්ථාවක් දෙන්න. ඒ ලොකු මහත්තයා කරපු ඉල්ලීම හින්දමයි. හිත එකලාශයක් කරගෙන විභාගේ ලියන්න ගත්තත් මතක්වුනේ ජිනදාස අයියට කරදරයක් වුනාද කියලයි. පස්සෙයි ආරංචිවුනේ ජිනදාස අර තුන්දෙනාටම දුවනකම් ගැහැව්වයි කියලා.
දැන් දැන් ජිනදාස ගැන වෙනදා නැති බැඳීමක් හිත ඇතුලේ මෝදු වෙනවා කියලා පබාවතිට නිතරම හිතුනා. ජිනදාස දකින්නවත් කැමති නැති ඇස් දෙක මග බලාගෙන ඉන්නවා ඔහු එනකම්. කාලය ගෙවුනා විභාග ප්රතිපල ආවා. කවුරුත් විශ්වාස කරපු විදිහට පබාවති ඉහළින්ම සමත්වෙලා තිබුනා. ඒ කාලේ ඇතුලත එක දවසක්වත් මුතු මැණිකෙනම් ඉස්කෝලේ ආවේ නෑ. විභාගය සමත්වුනු නිසා පබාවතීට අධ්යාපන ආයතනයට ඇවිත් ඒකේ කලමණාකරු හම්බවෙන්න කියලා දිනයක් එවලා තිබුනා.
එදා උදේ තාත්තත් එක්කම නගරයට ගිය පබාවති ආයතනයේ කලමණාකරු හම්බවුනා. තමන්ට ආයතනයට බැඳෙන්න බැරි බව පබාවති කිව්වම කලමණාකරු විතරක් නෙමේ පබාගේ තාත්තත් ඇය දිහා බැළුවේ පුදුමයෙන්. තමන්ගේ අවස්ථාව තමන්ගේ ඉස්කෝලෙම වෙන කෙනෙකුට දෙන්න පුළුවන්දැයි ඇය ඊළගට කලමණාකරුගෙන් ඇසුවා. ඒ කවුද ප්රශ්ණය ඇහැව්වේ තාත්තා. මුතු මැණිකේ කියලා පබාවති උත්තර දුන්නා. ඒ උත්තරෙන් තාත්තා නිරුත්තරවුනා. හැබැයි පබාවතිගේ ඔලුව හරිම ආදරයකින් අතගෑවා. හොඳයි අපි බලමු කියලා තමයි කලමණාකරුනම් කිව්වේ. හවස ගෙදර ආවාත් සිද්ධවුනේ මොකක්ද කියලා පබාවතිවත් තාත්තවත් නෙමේ කටක් හෙල්ලුවේ.
දින කිහිපයක් ගෙවිලා ගියා. එදා ඉස්කෝලේට මුතු මැණිකෙත් ඇවිත් හිටියා ඒ ලොකු ඉස්කෝලේ මහත්තයා යවපු පණිවිඩයක් නිසා. වෙනදා වගේ නෙමේ මුතු මැණිකේ පබා එක්ක හිනාත්වුනා. පබාවතිටනම් පුදුමයි. උදේ රැස්වීම වෙලාවේ ලොකු මහත්තයා හැමෝටම ඇහෙන්න අර ආයතනයට අපේ ඉස්කොලෙන් දෙන්නෙක්වම තොරාගෙන තියෙනවා ඒ තමයි. පබාවතියි, මුතුමැණිකයි කියලා. එහෙම අවස්ථාවක් ලැබුනේ පබාවති නිසා බවත් කිව්වා. ඒ විතරක් නෙමේ දෙන්නටම ආයතනයට යන ගමන් පහසුව බාල මහත්තයා ලබා දෙන බවත් කිව්වා. මුතු මැණිකේ ඇවිත් පබාව වැළඳගත්තා. පබාවතිගේ දෙනෙතින් හීන් කදුළු දාරාවක් ගලාගෙන ගියා. නිමි.
No comments:
Post a Comment